දුෂිත අධිකරණ වෛද්‍යවරු නිසා යුක්තිය අහිමි වු වින්දිතයෝ

0
shutterstock_698518327-768x576

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.
​
​වෛද්‍යවරයෙකු යනු සාමාන්‍ය සමාජය තුළ හුදෙක් වෘත්තිකයෙකු පමණක් නොවේ. ජීවිතයත් මරණයත් අතර සටන් කරන මිනිසුන් හට නියමිත වේලාවට ප්‍රතිකාර ලබාදී සුවපත් කරන නිසාම, පුරාණයේ සිටම අප සමාජය ඔවුන් දෙස බැලුවේ මිහිපිට ජීවමාන දෙවිවරුන් ලෙසටය. යමෙකු ජීවත්ව සිටින විට පමණක් නොව, අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ පසුවද එම මරණයට හේතුව සහ නීතියේ සාධාරණත්වය ඉටුකර දීම සඳහා අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන සේවය කිසිසේත්ම මිල කළ නොහැකිය.

ශ්‍රී ලංකාව තුළ අධිකරණ වෛද්‍යවරුන් සිටින්නේ දෙසීයකට ආසන්න සීමිත පිරිසකි. ගරු අධිකරණය සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් නීතිය පසිඳලීමේ ක්‍රියාවලියට උපකාරී වන මෙම තනතුර අතිශය බලසම්පන්න මෙන්ම විශාල වගකීමකින් යුතු එකකි.
​එහෙත්, අවාසනාවකට මෙන් අද වන විට මෙම ගෞරවනීය වෘත්තියේ නාමයට කැළලක් ඇති කරමින්, බලය සහ තනතුර වැරදි ලෙස භාවිත කරන යම් දූෂිත වෛද්‍යවරුන් පිරිසක් නිසා මහජනතාව මෙන්ම ශ්‍රී ලංකා පොලිසියද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. අහිංසක විපතට පත් ජනතාවට සාධාරණය ඉටුකිරීම වෙනුවට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමටත්, නීතිය නොමඟ යැවීමටත් ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවට හෙළිවන තොරතුරු අතිශයින්ම භයානකය. අප සිදුකළ දීර්ඝ ගවේෂණයේදී අනාවරණය වූ මෙවැනි බරපතළ සිදුවීම් කිහිපයක් එකිනෙක පෙළගස්වන්නේ සමස්ත පද්ධතියේම ඇති අඳුරු පැත්ත රටට හෙළිකිරීමේ අරමුණෙනි.

දූනගහ ප්‍රදේශයේ සිදුවූ අතිශය ශෝචනීය සිදුවීම මීට හොඳම උදාහරණයකි. තිස්පස් හැවිරිදි දෙදරු පියෙකු, සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ඉදිරිපිටදීම අමානුෂික ලෙස තියුණු ආයුධ වලින් පහරදීමකට ලක්විය. ඔහුගේ මුළු සිරුර පුරා කැපුම් තුවාල 25කට අධික ප්‍රමාණයක් තිබුණද, දැඩි වේදනාව දරා ගනිමින් ඔහු සිය ත්‍රීරෝද රථය තමා විසින්ම පදවාගෙන දිවුලපිටිය රෝහලට පැමිණියේ ජීවිතය බේරාගැනීමේ අන්තිම බලාපොරොත්තුවෙනි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යැවුවද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු සිය පවුල තනිකර ජීවිතයෙන් සමුගෙන තිබුණි.
​මෙම අමානුෂික ඝාතනයේ නීතිමය පියවර ගැනීම සඳහා දේහය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණි. එහෙත්, සැවොම තිගැස්සුනේ වෛද්‍යවරයා නිකුත් කළ වාර්තාව දැකීමෙනි. එම සිරුරේ බරපතළ තුවාල තිබියදීත්, මරණයට හේතුව “හෘදයාබාධයක්” ලෙස සඳහන් කර තිබුණි. සාධාරණයක් ඉටුනොවන බව තේරුම්ගත් මියගිය අයගේ පවුලේ පිරිස අධිකරණය හමුවේ කරුණු දක්වා, කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනය වෙත දේහය නැවත යොමු කිරීමට කටයුතු කළහ. එහිදී පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් හමුවේ පැවැත්වුණු දෙවන මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ, බරපතළ කැපුම් තුවාල නිසා සිදු වූ අධික ලේ වහනය සහ කම්පන තත්ත්වය හේතුවෙන් හෘදය වස්තුව අක්‍රිය වී මරණය සිදු වී ඇති බවයි. වෛද්‍යවරයාගේ ව්‍යාජ වාර්තාව යටපත් කරමින් සත්‍ය මතු වූ බැවින්, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. අධිකරණ වෛද්‍යවරයාගේ මෙම අසාධාරණ ක්‍රියාකලාපයට එරෙහිව මියගිය අයගේ බිරිඳ දිවුරුම් ප්‍රකාශයක්ද සහිතව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු ඉහළ බලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර ඇත​.
කොළඹ ජාතික රෝහල තුල සතියකට නාඳුනන මළසිරුරු 10කට අධික ප්‍රමාණයක් එකතු වේ. මේවා දැඩි නීතිමය අධීක්ෂණයක් සහ මරණ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු රජයේ වියදමින් භූමදානය කිරීම සම්මත පිළිවෙතයි. එහෙත්, එක්තරා අවස්ථාවක එකතු වූ නාඳුනන මළසිරුරු 60ක් සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ලැබෙන්නේ, කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව ඒවා වළ දමා ඇති බවටයි. අධිකරණ නියෝග මත ජාතික රෝහලේ උසස් නිලධාරියෙකු සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ, එම සිරුරු 60හි මරණ පරීක්ෂණ එක් අධිකරණ වෛද්‍යවරයෙකු විසින් දින 3ක් වැනි කෙටි කාලයකදී අවසන් කර ඇති බව පෙන්වා දී තිබූ බවයි. තවද, එම සිරුරු රෝහලෙන් බාරගත් කිසිදු නිල ලේඛනයක් හෝ නොතිබුණි. වෛද්‍යවරයාගේ සංවිධානාත්මක අතපසුවීම සහ දූෂිත ක්‍රියාවන් එහිදී තහවුරු විය.
​මීට අමතරව, බොරැල්ල කනත්ත තුළ සිදුවූ ආන්දෝලනාත්මක මරණයකදීද, මුලින්ම එය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා කළ අධිකරණ වෛද්‍යවරයා, මාසයකට පසුව එය මිනීමැරුමක් ලෙස වෙනස් කිරීම තුළින්ම පැහැදිලි වන්නේ මෙම ක්ෂේත්‍රය තුළ සිදුවන සැකකටයුතු මැදිහත්වීම් ප්‍රමාණයයි.
​අධිකරණ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම සහ දූෂිත ක්‍රියා නිසා දැඩි ලෙස අපහසුතාවයට පත්වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. ළමා රක්ෂණ අධිකාරියට ලත් තොරතුරකට අනුව, මව විසින් තනිකර දමා ගිය අවුරුදු 13ක දැරියක් සහ 10ක පිරිමි දරුවෙකු ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් අපයෝජනයට ලක්වන බවට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය වහා ක්‍රියාත්මක විය. නීතිමය පියවර ගැනීම සඳහා දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළද, ඔහු පරීක්ෂණ පැවැත්වීම ප්‍රතික්ෂේප කර දරුවන් ආපසු හරවා යවා තිබුණි.එම පොලිස් නිලධාරීන් තමන් පත් වූ අපහසුතාවය මෙන්ම අධිකරණ වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය ලිඛිතව උසස් නිලධාරීන්ව දැනුවත් කර ඇත.
​තවත් සිදුවීමකදී, පමුණුගම ප්‍රදේශයේ 15 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිදුවීමේ සැකකරුවන් අතර රාගම වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය පුහුණුව ලබන වෛද්‍යවරයෙකු සිටින බව හෙළි විය. එහිදී අදාළ අධිකරණ වෛද්‍යවරයාගෙන් සහයක් නොලැබුණු අතර, පසුව පොලිසිය අධිකරණයට කරුණු දක්වා විශේෂ වෛද්‍ය මඩුල්ලක් හමුවේ පරීක්ෂණය පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
​මධ්‍යම පළාතේ සේවය කළ එක්තරා අධිකරණ වෛද්‍යවරියකගේ ක්‍රියා කලාපය හේතුවෙන්න ඇයට විදේශ ගමන් තහනමක් පවා පනවා ඇති අතර, ඇය රාජකාරි මායිම් පන්නා යමින් මහේස්ත්‍රාත්වරයාගේ භූමිකාව පවා රඟදක්වන බවට පොලිසිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැමිණිලි කර ඇත. යම් අඩුපාඩුවක් ගැන කතා කළහොත් එම වෛද්‍යවරියගේ සැමියා සටන් ගුරුවරයකු වන අතර ඔහු ලවා පහරදීමට පවා කටයුතු කරන බව අනාවරණය වී තිබේ. තවද අධිකරණ වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ අලසකම හේතුවෙන් වේයන්ගොඩ, ඇඹිලිපිටිය, ගම්පහ ඇතුළු පොලිස් ස්ථාන රැසක අධිකරණ වෛද්‍ය වාර්තා මාස ගණනාවක් ප්‍රමාද කිරීම නිසා නඩු කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකිව යුක්තිය ඉටුවීම අහිර වී ඇත.(බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුය)
​

ගරු අධිකරණය සහ නීතිය පසිඳලීමේ පද්ධතිය කෙළින්ම රඳා පවතින්නේ අධිකරණ වෛද්‍ය වාර්තා මතය. මෙවැනි අතිශය සංවේදී සහ බලසම්පන්න තනතුරුවල සිටින ඇතැම් දූෂිත නිලධාරීන් නිසා පීඩාවට පත්වන්නේ අහිංසක මහජනතාවයි. වෛද්‍ය වෘත්තිය කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය සහ භක්තිය ආරක්ෂා කරගැනීමට නම්, මෙවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ අධිකරණ වෛද්‍යවරුන් පිළිබඳව වගකිවයුතු අංශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම දැඩි අවධානය යොමුකර, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *