රාජකීයයේ හිච්චි මොළකාරයන්ට තක්ෂිලාව වධකාගාරයක් වුණේ කෙසේද? – වැසුණු දොරටු සහ විවර නොවන පරිපාලන ඇස් !
විශේෂ ලියුම්කරුවෙකු විසිනි.
ශිෂ්‍යත්වයෙන් රටෙන්ම ඉහළම ලකුණු ලබාගෙන ආ අපේ රටේ දීප්තිමත්ම සිඟිත්තන්ට අද රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නිවාසයේ දොරටු වැසී ඇත්තේ මන්ද? මෙය පරිපාලකයන්ගේ සහ සමස්ත පාර්ශවකරුවන්ගේ ඇස් ඇරවිය යුතු ජාතික අපරාධයකි!”
ජාතියේ මුදුන් මල්කඩ සහ ‘කුඩම්මාගේ සැලකිල්ල’: අනාගතය අඳුරේ හෙළන පාසල් පරිපාලනයට විවෘත පාඩමක්!
ලංකාවේ සතර දිග්බාගයෙන් අතේ පයේ තියෙන සබ්බ සන්තකයම උගස් තියලා, අවුරුදු පහක් තිස්සේ නොකා නොබී ඇස් දෙක වගේ උගන්වපු පුංචි එකාව “රාජකීය විද්‍යාලයට” එවන්න හීන මවන අම්මලා තාත්තලා තවමත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් මේ ලියන්නේ ඒ අහිංසක දෙමාපියන්ට බියක් ඇති කරන්න නෙමෙයි; රටේ ඉහළම අධ්‍යාපන බලධාරීන්ගේ, රාජකීය විද්‍යාලයේ පරිපාලකයන්ගේ සහ සමස්ත පාර්ශවකරුවන්ගේ වසාගත් ඇස් ඇරවීම උදෙසායි.
ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකාවෙන්ම ඉහළම ලකුණු ලබාගෙන, රටේ අනාගතය භාරගන්න ඉන්න අපේ රටේ දීප්තිමත්ම හිච්චි පැටවුන්ට අද ජාතියේ තක්ෂිලාව ඇතුළේ හිමිවෙලා තියෙන්නේ කෙබඳු තත්ත්වයක්ද?
දිනෙක මේ ශිෂ්‍ය නිවාසය කියන්නේ රටේ හතර දිග්බාගයෙන් එන දුප්පත්, ඒත් මහා ප්‍රඥාවන්ත දරුවන්ට සැබෑ කේෂ්මභූමියක්. ඒ කාලයේ පරිපාලනය කෙරුවේ නාමික නිලධාරීන් නෙමෙයි, සැබෑ පියවරු. කොළඹ 07ට නුහුරු, අතේ මිටේ තඹ දොයිතුවක් නැති ගමේ අසරණ තාත්තාගේ ඉඳන් හැමෝටම එකම ගෞරවය ලැබුණා. දරුවන්ට ආදරය, රැකවරණය, ඉංග්‍රීසි දැනුම වගේම පෝෂණයත් ලැබුණා.
ඒත්, විදුහල්පති විජේවර්ධන විසින් තමන්ගේම විශ්වාසවන්ත බත්බැලයෙකු වූ ගුණවර්ධන නමැත්තා නේවාසිකාගාර පාලකයා ලෙස පත්කළ දා සිට මේ දෙවන නිවෙස හමුදා කඳවුරක් බවට පත්වුණා. අම්මලා තාත්තලා ගේට්ටුවෙන් හරවා යැවුණා. මව් ඇකයෙන් මිදී වසර 12ක්වත් පිරුණ නැති සිඟිත්තන්ගේ සයනාගාර රෑට ඉබ්බන් දමා ලොක් කළේ වැලිකඩ බන්ධනාගාරය සිහිගන්වමින්. ශාරීරික හිංසනයන් කෙතරම් දරුණුද කියනවා නම්, කන් අඩි පැළී ජාතික රෝහලේ නතර වූ දරුවන් වෙනුවෙන් මොනරාගල වැනි දුර බැහැර සිට ආ අසරණ දෙමාපියන්ට කුරුඳුවත්තේ පොලීසිය ගානේ රජාංගන යන්න සිදුවුණා. මානසික පීඩනය? හරියටම පන්සලට හොර රහසේ අතහැර දමන බලු-පූස් පැටවුන් ගණනටයි මේ බුද්ධිමත් දරුවන්ට සැලකුවේ.
දැන් අපි ඉලක්කම්වලින් කතා කරමු!
මේ වසරේ 6 ශ්‍රේණියට ශිෂ්‍ය නිවාසයට ඇතුළත් කරගත් ළමුන් 89 දෙනාගෙන් 33 දෙනෙකුම මේ වන විටත් හොස්ටල් එක අතහැර ගොස් හමාරයි. ඇතුළත් කරගත් දමිළ පැටවුන් 5 දෙනාගෙන් අද ඉතිරිව ඉන්නේ එක්කෙනෙක් පමණයි!
මේ පලා යන්නේ සාමාන්‍ය පිරිසක් නෙමෙයි; මේ රටේ මොළකාරයන්! නේවාසිකාගාරය අතහැර යනවා මදිවට, තවත් දරුවන් පිරිසක් පාසලටම සමුදී ආපසු යන්නට ගොස් හමාරයි. වසරක් පාසා රාජකීය විද්‍යාලයේ විභාග ප්‍රතිඵල සහ උත්සව ගැන උදම් අනන එක පරිපාලකයෙකුට හෝ ආදි ශිෂ්‍යයෙකුට පෙනෙන්නේ නැද්ද, මේ සිදුවන්නේ පාසලේ පමණක් නෙමෙයි, මුළු ජාතියේම අනාගතයට කෙරෙන මහා සංහාරයක් බව?
හොස්ටල් එකේ මාසික ගාස්තුව රු. 7,500ක් ගෙවාගන්න බැරිව අමාරුවෙන් හිටපු අසරණ දෙමාපියන්ට, දරුවාට වෙන හිංසනය ඉවසාගන්න බැරිව එළියට දැම්මාම සිදුවන්නේ කුමක්ද? බගතලේ පාරේ, ක්වීන්ස් පාරේ නෙමෙයි, හෝමාගම හෝ පානදුර වැනි ඈත පලාත්වලින් පවා අඩුම තරමින් රු. 20,000ක්වත් දීලා බෝඩිම් හොයන්න සිද්ධ වෙනවා. ගමේ මිනිස්සු හිනාවෙන නිසා ආපසු යන්නත් බැරුව, කොළු පැටියා රෝයල් එකට දාන්න ගිහින් මුළු පවුලම පාරට වැටෙන තැනට කටයුතු යෙදී තිබීම ජාතික අපරාධයක් නෙමේද?
අපට ඇති ලොකුම පාඩම සහ අභියෝගය:
නරුමයන් සහ අපතයන් ඕනෑම ආයතනයක සිටියේ එකා දෙන්නාය. එදත් එහෙමය, අදත් එහෙමය. නමුත් උන්ට මෙවැනි මහා විනාශයක්, මෙවැනි අසාධාරණයක් කිරීමට ඉඩකඩ ලැබුණේ, බලයේ සිටින පරිපාලකයන්, අදාළ පාර්ශවකරුවන් සහ අපි වැනි බහුතරයක් ජනතාව කට වසාගෙන, ඇස් වසාගෙන, කන් වසාගෙන සිටි නිසාය!
මෙය හුදෙක් ශිෂ්‍ය නිවාසයක ප්‍රශ්නයක් පමණක් නොවේ. රටේ ඉහළම මොළකාර දරුවන්ට සිදුවන මේ අසාධාරණය දෙස බලධාරීන් තවදුරටත් මුණිවත රකිනවා නම්, ජාතියේ තක්ෂිලාව රැකගැනීමට වෙනත් සතුරන් අවශ්‍ය නැත. පරිපාලනය වහාම මේ අසාධාරණයට සහ අමනෝඥ ක්‍රියාකලාපයට තිත තැබිය යුතුය. නැතහොත්, මේ නිශ්ශබ්දතාවයේ පාපතර පංගුකාරයන් වීමට සමස්ත පද්ධතියටම සිදුවනු ඇත!
ඔබේ අදහස:
මෙවැනි ජාතික මට්ටමේ අධ්‍යාපනික හා පරිපාලනමය ගැටලු විසඳීමට පරිපාලනයට සහ පාර්ශවකරුවන්ට වහාම ගත හැකි කෙටි කාලීන පියවර මොනවාදැයි ඔබ සිතන්නේද?