දිරි දීමනා කපා දැමීම‌ට එරෙහි ව කොළඹ වරාය කම්කරුවෝ වැඩ වර්ජනය කරති

දිරි දීමනා කපා දැමීම‌ට එරෙහි ව කොළඹ වරාය කම්කරුවෝ වැඩ වර්ජනය කරති
විලානි පීරිස් විසිනි.

කොලඹ වරායේ ජයබහාලු පර්යන්තයේ (ජේසීටී) සහ නැගෙනහිර පර්යන්තයේ (ඊසීටී) කම්කරුවෝ, මැයි 10 දා රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වූහ. වෙසක් පොහොය යෙදුනු මැයි 12 සහ 13 නිවාඩු දිනවල, එම පර්යන්තයන්හි අත්‍යවශ්‍ය සේවයේ යෙදීමට නියමිතව සිටි කම්කරුවන්ගේ දිරි දීමනාව කපා දැමීමට වරාය අධිකාරියේ පරිපාලනය ගත් තීරනය වර්ජනයට හේතු වූ අතර, දිරි දීමනාව පෙර පරිදි ලබාදීමට එකඟවෙමින් පරිපාලනය විසින් ලිපියක් නිකුත් කිරීමෙන් අනතුරුව කම්කරුවෝ යලි වැඩ ආරම්භ කලහ.

කම්කරුවන්ගේ සෑම යුක්තියුක්ත අරගලයකදීම එයට එරෙහිව මහජනතාව උසිගැන්වීම සඳහා ක්‍රියාත්මකවන ධනපති මාධ්‍ය බිස්ස මෙහිදී ද වහා වැඩට බැස ගත්තේ ය. වරාය වර්ජනයෙන් “රුපියල් කෝටි 30 ක පාඩුවක්” සිදු වූ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තාවන් ගනනාවක්ම පල කෙරුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග සාකච්ඡා කල වර්ජිත කම්කරුවන් කියා සිටියේ, කවර හෝ වෘත්තීය සමිතියක ආරම්භකත්වයකින් හෝ මැදිහත්වීමකින් තොරව, තමා විසින් ස්වාධීනව සහ සාමූහිකව ගත් තීන්දුවක් මත වර්ජනය ආරම්භ කල බවයි. ජේසීටී කම්කරුවෙක් මෙසේ කීවේය: “අපිට දැන ගන්න ලැබුනා අපේ දීමනාව කපා ඇති බව. අපි සාකච්ඡා කරල තීරනය කලා වැඩ නතර කරන්න. ඒ වෙනකොට නැව් හයක් ඇවිත් තිබුන. අපි පාලකයන් හමුවෙන්න ගියා, පැය හතරකට විතර පස්සෙ තමයි ඔවුන් පොරොන්දු වුනේ දීමනාව පෙර පරිදි ලබාදෙන බවට.”

මෙම කප්පාදුව හමුවේ වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය: “වෘත්තීය සමිති නායකයො පැත්ත බැලුවෙ නැහැ. ඔවුන් හැමදාම කලේ සටන් පාවා දෙන එකයි.’

වරාය අධිකාරිය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් (එස්ඕඊ) 400 කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය හෝ ප්‍රතිව්‍යූහකරනය කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රමුඛතම අංගයකි. මෙම දීමනා කප්පාදුව එය සමග ඝෘජුවම බැඳී පවතී.

ඉහත ජේ‌ටීසී කම්කරුවා මෙසේ පැවසීය: “මේ දීමනා කප්පාදුව සම්බන්ධයි වරායෙ ඉතුරු ටිකත් පුද්ගලීකරනය කිරීමට පාලකයො දරන උත්සාහයට. දැනටමත් වරායෙ විශාල කොටසක් පුද්ගලීකරනය කරලා. රැකියා දහස් ගනනක් කප්පාදු කරල, වැඩ වෙිගවත් කරල.”

දීමනා කප්පාදුවට ඉලක්ක නොවූ, විදුලි අංශයේ කම්කරුවෙක්, ජේටීසී සහ ඊටීසී කම්කරුවන්ගේ අරගලයට සහයෝගය පල කරමින් මෙසේ සඳහන් කලේය. “අත්‍යවශ්‍ය සේවයේ යෙදෙන කම්කරු කොටසකගේ දීමනායි කප්පාදු කලේ. නමුත් මේ කප්පාදු වරාය කම්කරුවන්ගේ රැකියා කප්පාදු කිරීම, පුරප්පාඩු නොපිරවීම හා වරාය පුද්ගලීකරනය කිරීම සමග සම්බන්ධයි.’

දැනටමත් පුද්ගලීකරනය සහ කප්පාදුව සිදුවෙමින් තිබෙන ආකාරය පැහැදිලි කරමින් ඔහු කීවේ, “දැන් නැගෙනහිර පර්යන්තයෙ වැඩ කරන සේවකයන් අතරින් බහුතරයක් මිනිස්බල කම්කරුවො” බවයි. “මෙම පර්යන්තය පුද්ගලීකරනයෙන් බේරා ගත්ත කියල වෘත්තීය සමිති නායකයො පම්පෝරි ගැහුවට, දැනටමත් සේවයේ යෙදෙන්නෙ පුද්ගලීක සමාගම් යටතේ සූරා කෑමට ලක්වන මිනිස්බල කම්කරුවො. වරාය මුලුමනින්ම පුද්ගලීකරනය කිරීමට ඉලක්ක වෙලයි තියෙන්නේ.”

වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව කෙරෙහි තම විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරමින් ඔහු මෙසේ කීවේය: “මේ ආන්ඩුව ක්‍රියාවට දමන්නෙ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කල ප්‍රතිපත්තියමයි. ඇත්තම කියනවා නම් වික්‍රමසිංහට වඩා හොඳින් දිසානායක ජාමුඅ නියෝග ක්‍රියාවට දමනවා.”

නැගෙනහිර පර්යන්තය, ඉන්දියාව සහ ජපානය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට පෙර තිබූ සැලැස්ම, වරාය කම්කරුවන්ගෙන් නැගුනු බලගතු විරුද්ධත්වය මධ්‍යයේ තාවකාලිකව නතර කරමින් එය වරාය අධිකාරිය යටතේ “සංවර්ධනය” කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව 2021 පෙබරවාරි 1 දා නිවේදනය කලේ ය. කෙසේවෙතත්, මෙයට හිලව් ලෙස, එවකට පැවති වෘත්තීය සමිති සන්ධානය සටන පාවා දෙමින්, නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආන්ඩුව සමග එකඟ වුනි. දැන් යලිත් නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීමේ තර්ජනය මතුව ඇතිබව කම්කරුවෝ පැවසූහ.

කොලඹ වරාය සතු කොටස් පහෙන් කොටස් තුනක් දැනටමත් පුද්ගලීකරනයට යටත්‍ ය. තමන්ගේ රැකියා හා කොන්දේසි ආරක්ෂා කරගැනීමේ අදිටනින්, වරාය කම්කරුවන් යලි යලිත් පුද්ගලීකරනයට එරෙහි ව සටන් වැදුන නමුත්, ඒ සියලු අරගලවලදී වෘත්තීය සමිති නායකත්වය එම අරගල කඩාකප්පල් කොට පාවාදුනි. 1979 පටන් දියත්වූ වරාය පුද්ගලීකරනය මගින් සේවක සංඛ්‍යාව හරි අඩකට වඩා කපා හැර, ඒ වෙනුවට දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ මිනිස් බල කම්කරුවන් සේවයේ යොදවා ඇත.

මැයි 10 වරාය කම්කරු වර්ජනයෙන් ඉතා වැදගත් කරුනු කීපයක් ඉස්මතු කර පෙන්වයි:

ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරුවන් අතර පවත්නා අධිෂ්ඨානය ඉන් එකකි. තැපැල්, සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පසුගිය දා පැනනැගුනු අරගල මගින් ද සනාථ කර ඇත්තේ එයයි.

ජාමූඅ හි කප්පාදු ප්‍රහාරයන්ට වෘත්තීය සමිති නිලධරය මුලුමනින්ම සහයෝගී බවත්, එබැවින් එම කප්පාදු වලට එරෙහිව කවර හෝ සටනක් සමිති නිලධරය විසින් සංවිධානය නොකරන බවත් මෙහිදී යලිත් තහවුරු වී ඇත. කප්පාදු පියවර වලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය සහ සටන්කාමිත්වය හමුවේ මෙම නිලධරයන් විසින් යම් අවස්ථාවන්හි දී කාර්මික ක්‍රියාවන් කැඳවනු ලැබුව ද ඒවා හුදු ආන්ඩුවට බලපෑම් යෙදීමේ හුදෙකලා ක්‍රියාවන්ට සීමාකොට එම විරෝධය සහ සටන්කාමිත්වය විසුරුවා හරිනු ලැබේ.

මේ සියල්ලටමත් වඩා, අතීතයේ ජාමූඅ කප්පාදු වලට එරෙහිව, විශේෂයෙන්ම පුද්ගලීකරනයට එරෙහිව, ව්‍යාජව හඬ තැලූ ජවිපෙ වෘත්තීය සමිති ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි කවර හෝ අරගලයකට එදිරිව සිටී. තම සමිති “ආන්ඩු කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක්” බවට “මුලුමනින්ම පෙරලිය යුතු” බව කෘෂිකර්ම ඇමති හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභපති කේ.ඩී.ලාල් කාන්ත, පසුගිය දා තම සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කලේ ය.

වරාය වර්ජනය හමුවේ, පරිපාලනය විසින් දීමනා කප්පාදුව තාවකාලිකව හකුලා ගත්ත ද, ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය වඩාත් රුදුරු ආකාරයෙන් ඉස්මත්තට ගනු ඇත. එය හැර අන් විකල්පයක් නොමැතිබව ජනාධිපති දිසානායක යලියලිත් පවසයි.

වරාය වර්ජනයෙන් මතු කෙරෙන වැදගත්ම කරුන වනුයේ ජාමූඅ හි කප්පාදු ප්‍රහාර වලින් බැටකන කම්කරුවන්, එම ප්‍රහාර වලට එරෙහි සටන, තම අතට ගතයුතු බවයි. සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් තීරනාත්මකව කැඩී වෙන්වී කම්කරුවන්ගේ සැබෑ අවශ්‍යතා නියෝජනය කරන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම මෙහි ලා අත්‍යවශ්‍ය ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *