පළාත් පාලන පරාජය හමුවේ වියරු වු ජාජබ/ජවිපෙ ආණ්ඩුව

පළාත් පාලන පරාජය හමුවේ වියරු වු ජාජබ/ජවිපෙ ආණ්ඩුව

ප්‍රියන්ත සිල්වා විසිනි,

2025 පළාත් පාලන මැතිවරණයෙන් පලාත් පාලන ආයතන 339 න් 267 ක බලය ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර ඇත.ජයග්‍රාහී සෑම පලාත් පාලන ආයතනයකම තම බලය පිහිටුවන බව බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

 මේ අතර ජන සමාජයේ සාකච්ඡා වට ලක්වන්නේ මාස හයක් වැනි කෙටි කාලයක් තුලදී ලක්ෂ 23 ක පමණ ඡන්ද සංඛ්‍යාවක් පාලක ජාතික ජන බලවේගයට අහිමි වී ඇති බවයි.එමෙන්ම ජයග්‍රහණය ලැබූ නියෝජිතයින් අතරින් වැඩි නියෝජිතයින් සංඛ්‍යාවක් විපක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වීමද කැපී පෙනෙන්නකි. එසේ වුවද බහුතරයක් නොමැති පලාත් පාලන ආයතනවලද සිය බලය පිහිටුවන බව ආණ්ඩු පක්ෂ නියෝජිතයෝ කියා සිටිති.

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි නියෝජනයක් ඇති පලාත් පාලන ආයතනවල සිය බලය තහවුරු කර ගැනීමට එම කණ්ඩායම් දැඩි ප්‍රයත්නයක යෙදෙමින් සිටිති.කොළඹ මහ නගර සභාවේ සිය බලය තහවුරු කිරීමේ වෑයම ජාතික ජන බලවේගය විසින් අත්හැර නොමැති බවද පෙනී යයි.ඒ අනුව ස්වාධීන හා තවත් සුළු පක්ෂ කීපයක් සමග සාකච්ඡා පවත්වා කොළඹ නගරයේ බලය තහවුරු කර ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් වේ.

 පවත්නා තත්ත්වය තුල ප්‍රාදේශීය ජන ක්ෂෙත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය ශක්තිමත් කළ යුතුය යන සංවාදය ද ඉහල නැගෙමින් පවතී.දූෂිත හා පරාජිත ස්වරූපයක් රට තුල නිර්මාණය කළ කණ්ඩායම් සමග පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ සූදානමක් නොමැති බවද ඇතැම් විපක්ෂ නියෝජිතයෝ ප්‍රසිද්ධ මාධ්‍යයේ කියති.

කෙසේ වුවද ඡන්ද ප්‍රමාණය අඩුවීම මත ජනතා අප්‍රසාදය තම පක්ෂය වෙත යොමු වී නොමැති යැයි ආණ්ඩු පක්ෂ නියෝජිතයෝ ප්‍රකාශ කරති.ඇතැම් පලාත් පාලන ආයතනවල නිශ්චිත බහුතරයක් ලබාගැනීමට නොහැකි වීම ගැන අදහස් දක්වන බිමල් රත්නායක අමාත්‍යයවරයා කියා සිටින්නේ මෙය මැතිවරණ ක්‍රමයේ දුර්වලතාවයක් නොව මෙරට දේශපාලන සංස්කෘතියේම පවත්නා විෂම ස්වරූපය නිසා ඇති වූවක් බවයි.

 මෙම පලාත් පාලන මැතිවරණයෙන්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මිලියනයක් පමණ ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත් එය  මාස හයක් වැනි කෙටි කාලයක් තුල දී ලැබූ සීඝ්‍ර වැඩිවීමක් බවත් එම පෙරමුණේ මහා ලේකම් සාගර කාරියවසම් කියයි.ඒ අනුව මේ මැතිවරණයේදී විශේෂ ජයග්‍රහණයක් තම පක්ෂ කණ්ඩායම ලබාගෙන ඇතැයි ඔහු කියා සිටී.මෙරට දේශපාලනයේ තව දුරටත් යම් වලංගු භාවයක් තම පක්ෂයට තිබේය යන්න ඔහුගේ ප්‍රකාශනයෙන් ඇඟවේ.ජනතා අරගලයකින් බලයෙන් පහ කරන ලද පිරිසක් ලැබූ යම් වර්ධනයක් ගැන උද්දාමයෙන් සැළකීම හාස්‍ය ජනකය.

 කෙසේ වුවද දීර්ඝ කාලීන දූෂිත අගතිගාමිත්වයකින් ඉදිරියට ඒමට දරන ප්‍රයත්නය තුල විශාල අවදානමක් වත්මන් පාලනයට දැරීමට සිදුව ඇති බව පැහැදිලිය.මේ වන විට මෙරට පාලන ව්‍යූහයේ තියුණු වෙනස්කම් මතුකරන ජනතාවාදී ප්‍රතිසංස්කරණ මෙතෙක් වත්මන් පාලනය තුලින් මතු වී නොමැති බවට විවිධ විවේචන මතු වෙමින් පවතී.

 මෙහි ඇති තියුණුම විවේචනය වන්නේ, අයි.එම්.එප්. ක්‍රියාන්විතය යටතේ ඉදිරියේදී ජනතාවට මුහුණ පෑමට සිදුවන ආර්ථික ප්‍රතිවිපාකය යි.නුදුරේදීම විදුලි බිල සම්බන්ධයෙන් අහිතකර තත්ත්වයන් මතුවෙනු ඇතැයි මේ වන විටද සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.රාජ්‍ය වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අයි.එම්.එප්.නියෝජිත සාකච්ඡාවල එකගතාවයන් ජනතාවට  අහිතකර ප්‍රතිචාරයක් වනු ඇතැයි යන්න ජන සමාජයේ සාකච්ඡාවට ලක් වේ.

මහා භාණ්ඩාගාර ලේකම් වශයෙන් දුමින්ද හුලංගමුව හෝ අයි.එම්.එප්. ක්‍රියාකාරීත්වයට පක්ෂපාතිත්වයක් දරණ අයෙකු පත් කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ  සූදානමක් ඇති බවට තොරතුරු සන්නිවේදනය වෙමින් තිබේ.එමෙන්ම මහජන දේපල විකුණා දැමීම හෝ පෞද්ගලිකකරණය කිරීමේ ව්‍යාපෘතියද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව,ජයවර්ධනපුර රෝහල,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වැනි ආයතනද එම නිර්දේශයන්ට ඇතුලත් බව පැවසේ.

‘නිදහස් අධ්‍යාපනය රැකගත යුතුය’ යන්න මීට ආසන්න වකවානුවේදී ජාතික ජන බලවේගය පෙනී සිටි ක්‍රියාන්විතයේ සීඝ්‍ර පසුබැසීමකට ආණ්ඩුව සමීප වී සිටින අන්දමද පැහැදිලිව පෙනී යන්නකි.සම සෞඛ්‍ය උපාධිය සම්බන්ධයෙන් ඇති වූ විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණයට රජය දැක්වූ ප්‍රතිචාරය තුල මෙම ස්භාවය පැහැදිලි වුණි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවලට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හැඳුනුම්පතක් එම අවස්ථාවලට සහභාගීවන මාධ්‍යවේදීන් සතු විය යුතුය යන්න ගැන මාධ්‍ය ක්ෂේත්‍රයේ විවේචනයට ලක් වෙමින් තිබේ.මේ පිළිබඳව අදහස් දක්වන මාධ්‍යවේදීන් පවසා සිටින්නේ මෙය ‘නිදහස් ජන මාධ්‍ය ‘යන දැක්මට ප්‍රතිවිරෝධී බවයි.එය නිරවුල් ප්‍රජාතන්ත්‍රීය රටාවට බලවත් හානියක් බවයි.

 P.T.A අහෝසිය මෙම ආණ්ඩුව බලයට පැමිණීමට පෙර බලවත් සාකච්ඡාවට බඳුන් වූවකි.මෙයින් රටේ ප්‍රජාතන්ත්‍රීය භාවිතයට වන හානිය ගැන වත්මන් පාලනයේ ප්‍රමුඛයෝ හඬ නැගූහ.සිවිල් ජන ක්ෂෙත්‍රයේ මෙම පනත්වලට ඇති අප්‍රසාදය නොකඩවා මතු වෙමින් තිබේ.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය,ළදරු කිරි පිටි,ඖෂධ වර්ග හා අධ්‍යාපන උපකරණ සඳහා ඇති වැට් බදු අහෝසිය පිළිබඳ සාකච්ඡාවද තියුණු මාතෘකාවකි.මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ක්‍රමයෙන් මග හැරෙමින් තිබීම පොදු ජනතාවගේ අප්‍රසදයට  හේතු වී තිබේ.

වංචා, දූෂණ,අක්‍රමිකතා පිළිබඳ නීතිමය ක්‍රියාන්විත දියත්වීම ගැන ජන ක්ෂෙත්‍රයේ පවත්නා ප්‍රසාදය සුභවාදී දැක්මකි.එහෙත් පහල තීරුවල ජනතාවගේ දරිද්‍රතාවය හා ජීවන අපේක්ෂා යන කරුණු බලවත් ලෙස මතුවෙමින් තිබේ.මේවා ජන ජීවිතයේ සංවේදී අංගයන් හැටියට මතු වීම නොවැළැක්විය හැකිය.විපක්ෂ කණ්ඩායම් වුවද ඉහල අගයක් මෙම අංශ වෙත යොමු කරමින් ස්වකීය ගිලිහුණු බලය නැවත ළඟා කර ගැනීමට ප්‍රයත්න දරති.

ජාතික ජන බලවේගය සිය මැතිවරණ ක්‍රියාන්විතවලදී වෙනසක් ගැන කතා කළද සමාජවාදී පරිවර්තනයක අවශ්‍යතාවය ගැන සාකච්ඡා කතා කළේ නැත.ඒ අනුව සමාජවාදී ප්‍රතිසංස්කරණ ගැන ජනතාවගේ බලවත් අපේක්ෂාවක් නොමැත.නමුත් පීඩාවට මුහුණ දෙන ජන කොටස්වල අයිතීන් ගැන සාකච්ඡාව අත්හැරිය නොහැක්කකි.

.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *