ස්වෙච්ඡාවෙන් රැකියාව හැර යන බවට ලිපි ලබා නොදුනහොත් වන්දි නොදෙන බවට නෙක්ස්ට් පරිපාලනය කම්කරුවන්ට තර්ජනය කරයි

අපේ වාර්තාකරුවන්
කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි නෙක්ස්ට් ඇඟලුම් කම්හල, මැයි 20 දා, හොර රහසේ වසා දැමූ එහි පරිපාලනය, ‘ස්වෙච්ඡාවෙන් රැකියාව හැර යන’ බවට ලිපි ලබා නොදුනහොත් වන්දි කිසිවක් නොලැබෙන බව පවසමින් තමන්ට එරෙහි තර්ජනයක යෙදී සිටින බව, රැකියා අහිමි වූ නෙක්ස්ට් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ඊයේ (මැයි 28) පැවසූහ. කම්හල වසා දැමීමෙන් කම්කරුවන් 1500 කට ආසන්න පිරිසකට එක් රැයෙන් රැකියා අහිමි විය.
මැයි 26 වන සදුදා සිට, කන්ඩායම් ලෙස පැමින යම් ලියැවිල්ලකට අත්සන් තබා වන්දි ලබා ගන්නා ලෙස, රැකියා අහිමි වූ සියලු කම්කරුවන්ට පරිපාලනය දැනුම් දී ඇත. කෙසේ නමුත්, කම්හලට ගොස් අදාල ලිපිය අතට ගත්විට කම්කරුවන්ට පෙනීගොස් ඇත්තේ, “අස්වීමේ ලිපිය භාර ගැනීම සහ ස්වේඡාවෙන් සේවයෙන් ඉවත් වීමේ යෝජනා ක්‍රමය යටතේ ගෙවීම“ යනුවෙන් එහි මාතෘකාව යොදා ඇති බවයි.
කම්හල වසා දමා තමාට රැකියා අහිමිකර ඇති තතු යටතේ, ‘ස්වේඡාවෙන් සේවයෙන් ඉවත්වීමක්’ ගැන කෙරෙන සඳහන ගැන පරිපාලන නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ, තමන්ට ලැබී ඇති උපදෙස් පරිදි ක්‍රියා කරන බව සහ වැඩිමනක් තොරතුරු නොදන්නා බවයි.
මෙම ලිපියට අත්සන් නොකොලහොත් වන්දි නොලැබෙන බව නිලධාරීන් පැවසූ තතු යටතේ, කම්කරුවන් තම වෘත්තීය සමිතිය වන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයෙන් (නිවෙකපොසේසේස) මේ පිලිබඳව විමසා ඇත. ලිපියට අත්සන් නොකරන ලෙස වෘත්තීය සමිතිය සිය සාමාජිකයන්ට උපදෙස් දී ඇති නමුත්, අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ගැන කිසිවක් සමිතිය සිය සමාජිකයන්ට පවසා නැත.
නිවෙකපොසේසේස නායක ඇන්ටන් මාකස්, නෙක්ස්ට් පරිපාලනය සමග රැස්වීමක් ඉල්ලා ඇති බව වාර්තා වූවද, සමිතියෙන් කිසිදු සාකච්ඡාවක් සඳහා සාමාජිකයින් කැඳවා නොමැති බව එක් සාමාජික කම්කරුවෙක් පැවසීය.
තවත් කම්කරුවෙකු පැවසුවේ, සමිතිය සම්බන්ධයෙන් කවර හෝ විශ්වාසයක් නොමැති බැවින්, ලිපියට අත්සන් නොකොලහොත් වන්දිය ද නොලැබී යනු ඇතැයි සිතා අකමැත්තෙන් වුව ද අත්සන් කිරීමට ඇයට සිදුවූ බව යි.
වෘත්තීය සමිතිය සම්බන්ධයෙන් තම විරෝධය පල කරමින් ඇය මෙසේ කීවාය: “යූනියන් එක කලේ මාසයකට රුපියල් 100ක් කපා ගත්තු එක විතරයි.“ පාලකයින් සමඟ හෝ වෙනත් කිසිවෙකු සමග හෝ කරන ලද සාකච්ඡාවන් පිලිබඳව තම සාමාජිකයන්ට වෘත්තීය සමිතිය කිසිවක් දැනුම් නොදුන් බව සදහන් කල ඇය, “යූනියන් එක රැස්වීමක් පවත්වලා අපිට කියන්න ඕන මොනවද වෙන්නේ කියලා. එහෙම නැත්නම් යූනියන් එකක් මොකටද. යූනියන් එකට බැඳුනේ ඇයිද කියන එක දැන් අපිට ප්‍රහේලිකාවක්“ යැයි පැවසුවාය. ‘යූනියන් නායකයින් කම්හල වැසෙනු ඇතැයි කලින් දැනගන්නට ඇතැ’යි ද ඇය සැක මතු කලාය.
සේවකයින් සමූහ වසයෙන් කැඳවුවහොත්, ඔවුන් අතර සාකච්ඡා ඇති වී විරෝධතාවයන් වර්ධනය විය හැකිය යන භීතිය නිසා පරිපාලනය කන්ඩායම් බැගින් සේවකයින් ගෙන්වා ලිපි අත්සන් කර ගන්නා බවද ඇය පැවසුවාය.
නෙක්ස්ට් පරිපාලනයට අනුව සේවකයන්ට වන්දි ලබා දෙනුයේ, ඔවුනගේ සේවා කාලය අනුවය. කෙසේ නමුත්, උපරිම වන්දිය රුපියල් මිලියනය නොඉක්මවයි. අහස උසට නැග ඇති ජීවන වියදම හමුවේ, රුපියල් මිලියනයක් පවා සෑහෙනුයේ යන්තම් වසරකට හෝ වසර එකහමාරකට පමනි.
එක් කම්කරුවෙක් මෙසේ පැවසුවාය: ‘මට වන්දි ලැබෙන්නේ ලක්ෂ හතරයි. මේ වගේ පොඩි වන්දියක් අරගෙන මොනවද කරන්නේ? අපිට අලුත් ෆැක්ටරියකට යන්නත් බැහැ වයස වැඩි නිසා. (නෙක්ස්ට් පරිපාලනය) කිව්වා අපිට රස්සා හොයලා දෙනවා කියල. ෆැක්ටරිවල නම් දීල, ඒවාට යන්න පුලුවන් කියල කියන එක තමයි ඔවුන් කරන්නෙ. ඒව තියෙන්නේ සෝන් එකෙන් (නිදහන් වෙලද කලාපයෙන්) එලියේ.“
තම සහෝදර කම්කරුවන් වැඩ පැහැර හරිමින් අලස ලෙස කාලය ගත කිරීම නිසා ඵලදායිත්වය අඩු වී කම්හලට පාඩු වී එය වැසීමට සිදුවූ බවට මාධ්‍ය හරහා නැගෙන අවලාද මුලුමනින්ම ප්‍රතික්ෂේප කල ඇය, “අපි ඉතාමත් මහන්සිවෙල ෆැක්ටරියේ වැඩ කලේ. අපි ෂොක් වුනා, ෆැක්ටරිය වහනව කියල දැනුම් දුන්නම’ යැයි පැවසුවාය.
තවත් කාන්තා කම්කරුවෙකු පැවසුවේ තමන් වසර 15 ක් ඉක්මවා නෙක්ස්ට් කම්හලේ සේවය කර ඇති නමුත්, ‘රුපියල් ලක්ෂ දහයක්වත්’ වන්දි නොලැබෙන බවයි. “අපිට අසාධාරනයක් වෙලා තියෙනවා. කවුරුත් කතා කරන්න යන්නේ නැහැ. අපිව හිරකරල තියෙන්නෙ“ යැයි ඇය කීවාය.
කම්කරුවන්ට සොච්චම් වන්දි මුදලක් ගෙවා අත සෝදා ගැනීමට නෙක්ස්ට් පරිපාලනය සූදානම් වන්නේ,ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව සහ නිවෙකපොසේසේස ඇතුලු වෘත්තීය සමිති, එම හාම්පුතුන්ට දෙන තුච්ඡ සහයෝගය මත වාරු වී ගෙනය.
නෙක්ස්ට් සමාගම කම්කරු නීතිමත් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති තතු යටතේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ, සමාගම ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, සේවයෙන් පහ කරන ලද සේවකයින් සඳහා වන්දි සැලැස්මක් සමාගම ඉදිරිපත් කර ඇති බව සහ සේවකයින්ට වෙනත් කර්මාන්තවල රැකියා ලබා දීමෙන් පවා උදව් කිරීමට සූදානම් බව යි.
නෙක්ස්ට් කම්කරුවන් කෝපයෙන් පැහැදිලි කරන්නේ, ජයසිංහ උලුප්පා දක්වන ඒ ‘වන්දි සැලැස්මේ’ සහ ‘රැකියා ලබා දීමට උදව් කිරීමේ’ යථා ස්වභාවය යි. තමන් විසින් කම්හල වසා දමනු ලැබ කම්කරුන්ගේ රැකියා විනාශ කර දමා ඇති තතු යටතේ, නෙක්ස්ට් සමාගම උත්සාහ කරන්නේ රැකියාවෙන් අස් වූ බවට කම්කරුවන්ගෙන් ලිපි ලබා ගෙන මොන යම් හෝ වගකීමකින් නිදහස් වීමට යි.
අනෙක් පසින්, මාකස් උත්සාහ දරන්නේ, අධිකරනයේ නඩු වලට කම්කරුවන් පටලවා, අවසානයේ ඔවුන් සමාගමේ විසඳුම පිලිගැනීමට යොමු කිරීමට යි. ඔහු සහ අනෙකුත් සමිති නිලධරයන්ගේ අතීත වාර්තාව එයයි.
මේ තතු තුල, කම්කරුවන් තම රැකියා සහ අනෙකුත් අයිතින් ආරක්ෂාකර ගැනීමේ සටන තම අතට ගතයුතු බව ලෝසවෙඅ වාර්තාකරුවෝ නෙක්ස්ට් කම්කරුවන්ට පෙන්වා දුන්හ. මේ සඳහා මූලික පියවර ලෙස, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටුවක්, පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ද ඔවුහු පැහැදිලි කලහ. එවන් ක්‍රියාකාරී කමිටුවක් තුල තම රැකියා ඇතුලු අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලය තුල ගතයුතු ක්‍රියාමාර්ග ආදිය ගැන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡා කොට තීන්දු ගැනීමට කම්කරුවන්ට හැකි ය.
සේවා යෝජකයින් සහ වෘත්තීය සමිති නිලධාරීන් විසින් තීරනය කරන ලද සොච්චම් වන්දි ප්‍රතික්ෂේප කරනු!, නව රැකියා ලබා දෙන තෙක් සම්පූර්න වැටුප් සහිත වන්දි ලබා දෙනු! යන ඉල්ලීම් මත, ක්‍රියාකාරී කමිටු හරහා මෙම සටන ඉදිරියට ගත හැක.
නෙක්ස්ට් කම්කරුවන්, අනෙකුත් ඇඟලුම් කම්කරුවන් සහ වෙනත් ක්ෂේත්‍රයන්හි පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කම්කරුවන් සමග ඒකාබද්ධ වෙමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ නෙක්ස්ට් වැනි සංගතයන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් ලෙස එය වර්ධනය කලයුතු බව ද ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. එලෙසම ශ්‍රී ලංකාවේ කම්කරුවන් තම ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ විය යුතුය. ඒ සදහා ඔවුන් කම්කරු ක්‍රියාකාරී කම්ටුවල ජාත්‍යන්තර සන්ධානය සමග එක් වී එය ගොඩනැගිය යුතුය.
WSWS වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.