“බහුචිතවාදියා“ වත්මන් සමාජ යථාර්ථය විනිවිදින අව්‍යාජ නිර්මානයක්

නන්දන නන්නෙත්ති විසිනි.
දැන් ප්‍රදර්ශනය වන “බහුචිතවාදියා“ චිත්‍රපටය, වේදිකා නාට්‍ය හා ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදයෙකු, කෙටි චිත්‍රපට නිර්මානකරුවෙකු ලෙස ප්‍රකට මාලක දේවප්‍රියගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයයි. මාලක අපට මුනගස්වන බහුචිතවාදියා වල් වැදුන සසල සිතැත්තෙකි. ඔහු නමින් සසිත වන්නිගම (කලන ගුනසේකර) වන, උසස් පෙල සමත් නාගරික තරුනයෙකි. සසිත තමන් මුහුන දෙන සමාජ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා යුරෝපයට සංක්‍රමනය වීමේ සිහිනයක් හඹා යමින් සිටී.
මේ සඳහා ඔහු, සැමියා යුරෝපයේ රැකියාව කරන නමුත් සිය දියනිය සමග මෙරට වෙසෙන තරුන කතකට “පෙම්“ බඳී. ජර්මනියේ පුරවැසිභාවය හිමි තැනැත්තෙකුගේ වයසට ගිය සහෝදරියක් සමග සමීප ඇසුරක් ගොඩ නගා ගනී. විදේශීය කාන්තාවක් විවාහ කර ගැනීමට ද ඔහුට සිත් වෙයි. සිය පෙම්වතිය අත් හැර දැමීමට සසිතට සිතක් නැත. මේ අතර ඔහු සයිබර් අවකාශය පීරමින් විදේශගත ගැහැනු දඩයමක ද නිරත ය. මැද පෙරදිග සේවය කරන පීඩිත කාන්තාවන් දෙදෙනෙකුට “පෙම් කරන“ සසිත සිය මිතුරාගෙන් වෙන් වූ වැන්දඹුවට ද පෙම් බදී. අතේ සතේ නැති මුත් “ජෙම් බිස්නස් එකක් කරන්න හිතෙනවා,“යි කියන ඔහු “මනි මාර්කට් එකේ සල්ලි දැමීම“ ගැන ද කතා කරයි. බැංකුවක් කැඩීමට ද ඔහුට සිත් වේ.
මාලකට අනුව, මෙසේ එක හිතක් නැති වර්තමාන තරුනයාගේ තර්ක විධිය හෙවත් දර්ශනවාදය බහුචිතවාදයයි. මාලක සිය නිර්මානය තුල කලාත්මක සංකල්ප රූප මගින් ප්‍රතිනිර්මානය කරන්නේ, පවත්නා සමාජ ක්‍රමයේ අර්බුදයට ගොදුරු වූ, එයින් ගැලවීමට තනි තනිව පොර බදන, වත්මන් තරුන පරපුරේ අපේක්ෂා භංගත්වයේ හා අස්ථාවරත්වයේ කතාව සහ එය, බහුචිතවාදයට ජන්මය ලබා දී ඇති අයුරු ය.
සසිත නියෝජනය කරන පරම්පරාව ම අසරන ය. ඔවුහු මේ තත්වය වැරදි රටක ඉපදීමේ පාපය ලෙස දකිති. ඔහුගේ පෙම්වතිය කාංචනා (ගීතා අලහකෝන්) සසිත මෙන් ම රට හැර යාමේ උන්මාදයකින් පෙලෙන්නී ය. සසිත, “නම්බර් වන් යුරෝපෙ, ඇමරිකාවත් නරක නැහැ. ඔස්ට්‍රේලියාවත් නරක නැහැ. ජපානෙත් හොඳයි,“ කී විට ඇය පවසන්නේ, “මට නම් ලංකාව ඇරෙන්න ඕනම රටක්. ඉන්දියාව හරි කමක් නැහැ,“ යනුවෙනි.

ඒ අතර ම, දෙදෙනා එක් ව තමන්ගේ ම “ගිෆ්ට් නෙට් එකක් පටන් ගැනීමට“ ඈ යෝජනා කරයි. කාංචනාගේ ඒකායන පැතුම කුමන හෝ වෙහෙසක් දරා ඉහලට නැඟ ගෙන සිය ප්‍රේමවන්තයා සමග යහපත් ජීවිතයක් ගත කිරීම ය.“ එහෙත් සසිත තවත් බොහෝ ගැහැනුන්ගේ පහස ලබන්නට පෙලඹී සිටී. “අහසට ගිහිල්ල බිම බලන්න මම ආසයි සර්,“ පසුව ඇයට මුන ගැසෙන වයසක, ව්‍යාපාරික පෙම්වතා සමග ඇය කියයි. සසිතගේ මිතුරා (රාජිත හේවාතන්ත්‍රිගේ) නිසි ආදායම් මාර්ගයක් නැති, විවාහය දෙදරා ගිය තරුනයෙකි. එයින් මිතුරාගේ බිරිඳ (ප්‍රසාදනී අතපත්තු) දරුවෙකු සමග ජීවත් වන වැන්දඹුවක් බවට පත් වේ. එවිට ඇය, විවාහ කර ගැනීමේ අටියෙන්, සසිත සමග අසාර්ථක ප්‍රේමයක පැටලෙයි.
ව්‍යාපාරයක් දියුනු කර ගැනීමට වෙහෙසන සසිතගේ ආදරනීය සහෝදරිය ( නිල්මිණි බුවනෙක) තවමත් අවිවාහක ය. සසිත මේ ගැන තැවෙන අතර, ඇය කාලකන්නිභාවය උරුම කර ගත් සසිතගේ මිත්‍රයාගේ පෙම්වතිය වී ඇත. මේ සම්බන්ධය සසිත තව දුරටත් අසරන කරයි. තරුන තරුනියන්ගේ එනම් අපගේ ම දරු දැරියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, සිත් කම්පා කරවන ඉරනම ලිය වී ඇත්තේ මෙලෙසිනි.
සසිත සිය සිහිනය සැබෑ කර ගැනීමට යොදා ගන්නා උපායන්ගේ ගොදුරක් බවට තමන් ම පත් වන සැටි ප්‍රකාශයට පත් කරන රූප පෙල සහෘද සිත් සසල කරයි. ඔහු වැඩිහිටි කාන්තාවක් වන අයිරාංගනීගේ දුක සැප බලන්නේ, ජර්මනියේ වෙසෙන ඇගේ සොහොයුරා මගින් යුරෝපයට සංක්‍රමනය වීමට මාවතක් පාදා ගත හැකිය යන දැඩි විශ්වාසයෙනි. අවසන ඔහුට ලැබෙන්නේ “මල්ලි හිනා වුනා,“ වචන තුන පමනි.
විදේශගත සැමියෙකුගේ තරුන බිරිඳක් වන කුමාරිගේ ආශාවන් සන්තර්පනය කරමින් සසිත “කොහොම හරි මම යූකේ වලට යවන්න ඕනේ,“ යි එක දිගටම ඇයට බල කරයි. දිනෙක ඈ, “මගේ කසාදෙ කඩන්න ද හදන්නේ“යැයි අසන්නී ය. සානුකම්පිභාවය සහ ප්‍රතිවිරෝධය ප්‍රේක්ෂක චිත්ත සන්තානය තුල ජනිත කරන මෙවන් අවස්ථාවලින් චිත්‍රපටය පොහොසත් වී ඇත.
ධනවාදී සමාජය නමැති ඇවිලෙන ගිනි දලුව වටා සරන පලගැටියන් හුදෙක් මධ්‍යම පන්තික තරුන තරුනියන්ට සීමා වී නැත. පිරිමින් රැකියා විරහිතයන්, අඩු වැටුප් ලබන්නන්, නොසන්ඩාලයන් හෝ ඌන රැකියා නියුක්තිකයන් වන විට පවුලේ මුලු බර අත් නො හැර දරා සිටින්නෝ පීඩිත කාන්තාවෝ ය. නගරයේ සේම ගම්බද බොහෝ තරුන කාන්තාවෝ සිය අපේක්ෂා සාක්ෂාත් කර ගනු වස් අඩු වැටුප් සහිත රැකියාවල ඉල ඇට කැඩෙන වැඩ කරති. මැද පෙරදිග රටවල වැඩ කර සිය පවුල් පමනක් නො ව පෙම්වතුන් ද නඩත්තු කරන කාන්තාවෝ දුලබ නොවෙති.
සසිත සයිබර් අවකාශයේ සැරි සරා මැද පෙරදිගින් සොයා ගන්නා ගම්බද තරුනියක් වන නිර්මාලා (සුලෝචනා විතානආරච්චි) විවාහයට සහකරුවෙකු සොයන්නී ය. සසිතගේ රෝගී මනසේ වේදනාව ගැහැනුන් දහසක් දඩයම් කලත් සුව කල නො හැක්කකි. අනෙක් අතින් තවමත් ජීවිතය සඳහා පොර බදන අසරන පීඩිත ගැහැනුන් සමාජ අසහනයේ ගොදුරු බවට පත් වී ඇත.

මැද පෙරදිග සේවය කරන කාන්ති (දමිතා අබේරත්න) තක්කඩියෙකු නිසා දුකට පත් කාන්තාවකි. තමන් සියලු වියහියදම් දරා විවාපත් කර ගත් පුද්ගලයා විවාහකයෙකු බව පසුව හෙලි වී ඇත. බහුචිතවාදියා මත ඉමහත් බලාපොරොත්තු තබන ඇය කියන්නී, “මේ තරම් ආදරයක් මගේ ජීවිතේ මං විඳල නැහැ,“ යනුවෙනි. තවත් අවස්ථාවක ඇය පවසන්නී, “ඇනිමල් කෙයා එකේ ඉන්න බල්ලොත් එක්ක කතා කර කර දවස ගෙවනවා,“ කියා ය. ප්‍රේක්ෂක මුවගට සිනහවක් කැඳවන මේ වචන ඉක්මනින් ම එම ප්‍රේක්ෂකයාට සිහි කර දෙන්නේ බහුචිතවාදීන් උපත ලබන්නේ එවන් බල්ලන් බිහි කරන සමාජයක බව ය. නමුත් සමාජයේ ම නිර්මානයක් වන බහුචිතවාදියා පෙරලා සමාජයේ පීඩිත ස්ථරයන්ට ම හතුරු සමාජ බලවේගයක් බවට පත් වෙයි.
කාන්ති සිය ආරාධනය පිලි ගෙන මැද පෙරදිග රැකියාවකට එකඟව සිටි සසිතට වීසා සහ ගුවන් යානා ප්‍රවේශ පත් ආදී සියල්ල සූදානම් කරයි. මේ අතරතුර ඇය “ඔයා එම්බසියට යන්න. ඔයාට නිකම්ම වීසා වදියි,“ යනුවෙන් පවසයි. ඒ වන විට සසිත තුල සිටින බහුචිතවාදියා හෙලිදරව් වෙමින් පවතී. ඔහුට සියල්ලම අහිමි වී “නිකම්ම විසා වදී.“ මේ මොහොතේ අයිරාංගනී, කුමාරි හා විශේෂයෙන් ව්‍යාපාරික හිටපු වාමාංශිකයා හැර අන් සියලු චරිත සම්බන්ධයෙන්, කිසිවෙකුත් මෙවන් ඛෙදයන්ට ගොදුරු නො වේවා යන හැඟීම ප්‍රේක්ෂක විඥානයේ සියුම් ලෙස ඇඳි යයි.
චිත්‍රපටයේ මුල මැද අග සම්බන්ධය විමසා බලන විට අපට එක් විශේෂ චරිතයක් සිහියට නැගේ. ඒ ගිෆ්ට් නෙට් අධිපතිතුමා (ලක්ෂ්මන් මැන්දිස්) ය. ඔහු ශ්‍රම සූරා කන්නෙකි; මැරවර බලය ඇත්තෙකි; අන්ත කපටියෙකි; හිටපු වාමාංශිකයෙකි. සසිත ඔහුගේ එකම සේවකයා ය. ඔහු උනන්දුවෙන් සේවය නො කරයි. “වැඩ නම් අන්තිමයි,“ අධිපතිතුමාගේ චෝදනාවට පිලිතුරු දෙමින් සසිත පවසන්නේ, “හැමෝම අහනව සර් පඩි නැති රස්සාවක් ද කරන්නෙ කියලා,“ යනුවෙනි. අධිපතිතුමා “මේක වෙලඳ න්‍යායට අනුව බැලුවොත්, මේක පාඩු ලබන ආයතනයක්. තමුසෙ තමයි අපට ඉන්න එකම බෙදා හරින්නා. තමුසෙ හරියට වැඩ කලොත් විතරයි අපි හැමෝටම ගොඩ එන්න පුලුවන්,“යයි පවසයි.
අධිපතියා වරින් වර පැරනි වාමාංශිකයා ද අවදි කර ගැනීම පිලිබිඹු කරන සංකල්ප රූපමය ප්‍රකාශනය අර්ථ පූර්න ය. කම්කරු පන්තියේ උවමනාවට ප්‍රධාන බාධකය වන්නේ ව්‍යාජ වම ය. “කාටද පුතා ප්‍රශ්න නැත්තෙ. ප්‍රශ්න තුලින් තමයි ප්‍රශ්න ජය ගන්න ඕනෙ කියල වී. අයි. ලෙනිනුත් කියල තියෙනවා,“ “බයිසිකල් පරිත්‍යාග කරන එක මොන සමාජවාදයකටවත් කරන්න බැරි එකක්,“ මෙම වචන සමග සංයෝග වන ලක්ෂ්මන් මැන්දිස්ගේ රංග ප්‍රතිභාව මගින් නිර්මානයවන්නේ, ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තිය මත පතිත කිරීමේ දී, පැන නගින විරෝධය යටපත් කිරීම සඳහා, අතට අසුවන ඕනෑම එකකින් දමා ගසන වෘත්තීය සමිති හා ව්‍යාජ වාම ව්‍යාපාරය පිලිබිඹු කරන විචිත්‍ර චිත්‍රයකි.
මෙතැන ධනපතියා පිලි ගන්නා පරිදි, කම්කරු පන්තියෙන් තොර ධනපති ලෝකයක් නො පවතී. අන් කිසිදු පන්තියක් කම්කරු පන්තිය වෙනුවට ආදේශ කල නො හැකි ය. මේ අනුව ලෝකයේ ක්‍රියා මාර්ග දෙකක් පවතී. එකක් ධනපති පන්තියේ විනාශකාරී ක්‍රියා මාර්ගයයි. අනික කම්කරු පන්තියේ සමාජවාදී ක්‍රියා මාර්ගයයි. තරුනයන්ගේ අනාගතය සහමුලින්ම බැඳී ඇත්තේ නිශ්පාදන කර්මාන්තයේ ශක්තිය වන කම්කරු පන්තියේ අරගලය සමඟ ය. ව්‍යාජ වම ධනපති පන්තියේ ඒජන්තයන් ලෙස, කම්කරු පන්තියේ එම අරගලයට එරෙහි වෙයි.
මාලකගේ මෙම ආකෘතිය චිත්‍රපට මාධ්‍යය තුලට ගෙන ඒමේ දී ප්‍රකාශයට පත් කරන සූක්ෂමතා අතර පලමුවැන්න වන්නේ ප්‍රස්තුත අවස්ථා හා සිද්ධි මාලාව නාට්‍යමය ආකාරයෙන් පෙල ගැස්වීම ය. මේ නිසා එහි එන සෑම පියවරක් ම සහෘදයා ඊලඟ පියවර සමීපයට කැඳවා ගෙන යයි. එහි රිද්මය සහෘදයාට විචාරශීලීව සිතන්නට අවකාශ සලසයි.
ප්‍රේක්ෂකයා තත්වානුරූපී මායාවක රඳවා ගැනීම පිටුදැකීම මාලකගේ නිර්මානකරනය තුල අප දකින විශිෂ්ට ලක්ෂනයයි. සිය නිර්මානය සඳහා තාක්ෂනික ඉන්ද්‍රජාල මාලක යොදා ගන්නේ නැත. ඒ හැටියට තිබෙන පසුබිම, වර්න හා ශබ්ද අප ජීවත්වන සැබෑ ලෝකය සමග සංවාදයකට ප්‍රේක්ෂකයා මෙහෙයවයි. මේවා චිත්‍රපයටයේ සාර්ථකත්වයට ප්‍රධාන සාධක වේ. චරිත නිරූපනයේ දී යොදා ගැනෙන රූප රචනයන් අතිශය ප්‍රබල ය.
බහුචිතවාදියා අහස උසට නැගී ගත් ගොඩනැගිල්ලක විශාල කොන්ක්‍රීට් තලයක අවකාශය පුරා උඩ පනිමින් දෙ අත් විහිදමින් විකාර රූපී රංඟනයක යෙදෙන අවස්ථාව ස්ථිරව පිහිට වූ කැමරාවට හසු කර ගන්නා, අමතක නො වන දර්ශනයක් චිත්‍රපටය නරඹන ඔබට හමු වේ. “මගේ අංග බුංජියා, මගේ අංජ කුංජියා,“ වැනි අප්‍රබංශ වචන ඔහුගේ මනෝභාව තව දුරටත් තීව්ර කරන අතර, එය, එවන් තාරුන්‍යය දෙස දයානුකම්පාවෙන් බැලීමට සහෘදයා පොලඹවයි.
යතුරු පැදියේ ඝෝෂාවට දෘශ්‍යමය සෙලවීමකට ලක් වන අහස, නගරයේ උසට නැගී ගත් කොන්ක්‍රීට් ගොඩනැගිලි හරහා අහසට එල්ල වූ කැමරා කාචය හරහා, උඩුකුරුව යතුරු පැදියේ වේගයෙන් ගමන් කරයි. මෙය නගරයේ හා සමාජයේ අස්ථාවර වාතාවරනයත්, ඒ තුල කොටු වී සිටින චරිතයේ අවිනිශ්චිත හා ව්‍යසනකාරී පසුබිමත් සංකේතාත්මක පිලිබිඹු කිරීමකි.
සියලු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අඩුවෙන් හෝ වැඩියෙන් නො ව සූක්ෂ්ම ලෙස චරිත ගොඩ නැගීම මඟින් අධයක්ෂකවරයාට ලබා දී ඇති සහාය ඉමහත් ය.
රඟපෑම යනු හුදෙක් කිසියම් පුද්ගල චරිතයක ගති ස්වභාව නිරූපනය කිරීම නො වේ. නලුවා හෝ නිලිය චරිතයක් තුලින් ප්‍රකාශයට පත් කරන්නේ යම් කිසි සමාජ ස්ථරයක ප්‍රාර්ථනා, හැඟීම් සහ උවමනාවන් ය. ප්‍රථම වරට චිත්‍රපටයක රඟපාමීන් බහුචිතවාදියාගේ චරිතයට පන පෙවූ කලන ගුනසේකර එම කාර්යය මැනවින් ඉටු කරයි. කංචනාගේ චරිතය රග පෑ ගීතා අලහකෝන්ගේ ද ප්‍රථම සිනමා රංගනය අගේ කල හැකි ය.
කාන්ති; දමිතා අබේරත්න ගැන විශේෂයෙන් සඳහන් කල යුතු ය. මැද පෙරදිග සිට සසිත සමග කතා බහේ යෙදෙන ඇය, අපට දකින්නට ලැබෙන්නේ පරිගනක තිරයක සීමාව තුල ය. එම රංගනයේ දී ඇය සමග රඟන වෙනත් නලුවෙකු හෝ නිලියක නැත. ඇගේ ප්‍රකාශන සදහා විශේෂ පසුබිම් දර්ශන නැත. දේහ චලනවලට අවකාශ නැත. කැමරාවට විවිධ කෝනයන්ගෙන් ඇයට සහාය විය නො හැකි ය. මෙම සීමාවේ විශේෂත්වය හා අභියෝගය වන්නේ හුදෙක් මුහුනේ එනම් ඇස්, මුව, හා දෙකොපුල්වල ප්‍රකාශන හැකියාව සහ හඬ පාලනය මගින් චරිතය ගොඩ නැගීමයි. දමිතා සිය ශිල්පීය හා කලාත්මක හැකියාවන් මනාව ප්‍රකට කරමින් මේ අභියෝගය ජය ගෙන, ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නී ය.

“බහුචිතවාදියා“ චිත්‍රපටය පවතින සමාජ යථාර්ථය අව්‍යාජව ප්‍රති නිර්මානය කල අපූර්ව කලා කෘතියකි. එය, සමාජ ව්‍යසනයට එරෙහිව සහෘදයා පිහිටුවයි; පවතින සමාජ ගැටලුවලට පෞද්ගලික විසඳුම් සොයා යාමේ අනර්ථය මතු කරන එය, පැන නැගී ඇත්තේ පන්ති ප්‍රශ්නයක් බව ග්‍රහනය කර ගනී. එබැවින් බහුචිතවාදියා නැරඹූ හිතනමතන මිනිසුන්ට පෙර පරිදි ජීවත් වීමට නො හැකි බව හැඟේ. එය ම කලා කෘතියක සාර්ථක බවට සාක්ෂ්‍ය දරන්නේ ය.