ආණ්ඩුව ඉල්ලීම් ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන ශිෂ්‍ය නායකයෝ අඳෝනා නගති
සකුන් ජයවර්ධන විසිනි.
[මෙය Sri Lankan student leaders lament government refusal to meet demands යන මැයෙන් 2025 ඔක්තෝබර් 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
අන්තර්-විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), 2026 වසර සඳහා ආන්ඩුවේ අයවැයෙන් අධ්‍යාපනයට අරමුදල් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක් ගෙනයයි. මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපති දිසානායක, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ජාතික අයවැය නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සාමාජිකයින් වන අවිශිබම නායකත්වය, රාජ්‍ය විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් අතර තම පක්ෂයේ ධනේශ්වර ගැති දේශපාලන පිලිවෙත වපුරමින් සිටී. මෙම ශිෂ්‍ය බල මන්ඩලය කලින් පාලනය කලේ ජවිපෙ විසිනි.
ශිෂ්‍ය බල මන්ඩලය අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීමේ මෙම උද්ඝෝෂනය සඳහා සම්මන්ත්‍රන මාලාවක් සහ මාධ්‍ය සාකච්ඡා පවත්වයි. ඔක්තෝබර් 9 වන දින කොලඹ සිංහ සමාජ ශ්‍රවනාගාරයේ පැවති සම්මන්ත්‍රනයක් අමතමින් අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් තම ප්‍රේක්ෂකයින්ට පැවසුවේ ශිෂ්‍ය ගැටලු පිලිබඳව දැනුවත්භාවය ඉහල නැංවීමට සම්මන්ත්‍රන පවත්වන බවයි.
දශක ගනනාවක් තිස්සේ, ජවිපෙ, පෙසප සහ අවිශිබම, වාර්ෂිකව අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂන ගෙන ගියයේ ය. ලංකාවේ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ත් 1.5 ත් අතර සොච්චම් ප්‍රමානයකි—එම වෙන් කිරීම ජාත්‍යන්තරව ගත්කල, ලංකාව අයත් ආදායම් කාන්ඩයේ රටවල් අතරින් අඩුම අගයකි. කෙසේ වෙතත්, දැන් අවිශිබම, එය කලින් ඉදිරිපත් කල ඉල්ලීම අඩකින් කපා, සියයට 3ක් වෙන් කරන ලෙස උද්ඝෝෂනයක් පටන් ගෙන ඇත.
අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත්, සැප්තැම්බර් 12 වන දින අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය වෙත යැවූ ලිපියක මෙසේ සඳහන් කලේය: “අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කරන තුරු, එම ඉලක්කය කරා යාමේ ප්‍රවේශයක් ලෙස, 2026 අයවැයෙන් සියයට 3 ක වෙන් කිරීමක් සිදු කරන ලෙස අපි යෝජනා කරමු.”
මැතිවරනවලට පෙර උද්ඝෝෂනවලදීත්, ඇය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නායිකාවක් ව සිටියදීත්, අමරසූරිය අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වියදම් කරන ලෙස ඉල්ලා සිටියා ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවල සහ එය අකුරටම ක්‍රියාත්මක කිරීමට පාලක ප්‍රභූව විසින් අවධාරනය කිරීම සැලකිල්ලට ගනිමින්, පසුගිය වසරේ, “සෞභාග්‍යමත් ජාතියක්! ලස්සන රටක්!” යන මැයෙන් වූ ජාජබ මැතිවරන ප්‍රකාශය සඳහන් කලේ, “[අධ්‍යාපනය සඳහා] වෙන් කිරීම්, ක්‍රමයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 දක්වා වැඩි කරන” බවයි.
කෙසේ වෙතත්, බලයට පත් වීමෙන් පසු, ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම තානය වෙනස් කලේ ය. 2025 පෙබරවාරි මාසයේ සිය පලමු අයවැයෙන්, දිසානායක, අඛන්ඩව ඉහල යන උද්ධමනය ගැන ද නොතකා, අධ්‍යාපනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 29 ක සොච්චමකින් පමනක්, එනම්, රුපියල් බිලියන 271 දක්වා ඉහල නැංවීය.
සැප්තැම්බර් 17 වන දින සිරස රූපවාහිනියට අදහස් දක්වමින් අමරසූරිය පැවසුවේ, යුනෙස්කෝව අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් සහ සෞඛ්‍යයට සියයට 3 ක් වෙන් කිරීමට නිර්දේශ කල ද, එය “හිටි අඩියේ” කල නොහැකි බවයි. “නිසි පරිපාලන වෙනස්කම්” නොමැතිව, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට යොමු කිරීම “අකාර්යක්ෂමතාවයට හේතු විය හැකි” බව ඇය කියා සිටියා ය.
මේවා ව්‍යාජ ප්‍රකාශයන් ය. අමරසූරිය, අධ්‍යාපන වියදම්වල සැලකිය යුතු වැඩි කිරීමක් ප්‍රතික්ෂේප කරන්නේ, රාජ්‍ය වියදම් කපා දමන ලෙසට නියම කර ඇති ජාමූඅ කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව සම්පූර්නයෙන්ම කැප වී සිටින බැවිනි.
අධ්‍යාපනයේ අර්බුදය පිලිබඳව අවිශිබමය, ආන්ඩුවට, අධ්‍යාපන බලධාරීන්ට සහ ජනාධිපති දිසානායකට නැවත නැවතත් මතක් කර දුන් බව, කොලඹ සම්මන්ත්‍රනයේ දී චන්ද්‍රජිත් පවසා සිටියේ ය.
“ජනතාවාදී කියන ආන්ඩුවක් මේ ප්‍රශ්න ගැන කතා නොකිරීම ගැටලුකාරී තත්වයක්” බව ඔහු පැවසී ය. මෙම ආන්ඩුව බලයට පත් වූයේ, “ජනතාවගේ වරමකින්” බවත්, එබැවින්, ඒ අනුව ක්‍රියා කල යුතු බවත් ඔහු කියා සිටියේ ය.
ආන්ඩුව විවේචනය කරන ගමන් ම, චන්ද්‍රජිත් මෙසේ ප්‍රකාශ කලේය: “කාලයක් තිස්සේ ඉහවහා ගිය ගැටලු ‘ක්ෂනික නූඩ්ල්ස්’ වගේ විසඳන්න බැරි බව අපි දන්නවා.”
වෙනත් වචන වලින් කිවහොත්, අවිශිබම නායකයා සිසුන්ට පවසා සිටියේ මෙයයි: “ඔව්, අපි දරාගත නොහැකි ගැටලුවලට මුහුන දෙනවා, නමුත්, ආන්ඩුවට ඒවා වහාම විසඳිය නොහැකි බවත් අපි දන්නවා. රට තුල ආර්ථික අර්බුදයක් පවතින නිසා අපි අධ්‍යාපන අරමුදල් සඳහා වන අපගේ ඉල්ලීම් ද භාගයකින් කපාගෙන ඉවසිලිවන්තව බලා සිටිය යුතුයි.”
අවිශිබමයේ ඊනියා අධ්‍යාපන උද්ඝෝෂනය සම්පූර්නයෙන්ම ව්‍යාජ ව්‍යාපාරයකි. එම උද්ඝෝෂනය වනාහි ආන්ඩුව ජාමූඅ පියවර සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසුව උදාවන බව කියන ආර්ථික ප්‍රකෘතිය ඇතිවන තුරු සිසුන්, තරුනයින්, කම්කරුවන් සහ දුප්පතුන් බලා සිටිය යුතුය යන ආන්ඩුවේ ඉල්ලීම සමග එකට සිටින්නකි. මෙය වඩ වඩාත් නරක අතට හැරෙමින් තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ කිසිදා නොපැමිනෙන “ආර්ථික ප්‍රකෘතියක්” එන තුරු බලා සිටින ලෙස කරන ඉල්ලීමකි.
දිසානායක පරිපාලනය “ජන වරමක්” සහිත “ජනතා ආන්ඩුවක්” යයි චන්ද්‍රජිත් කරන ප්‍රකාශය තවත් බොරුවකි. ජවිපෙ/ජාජබ ආන්ඩුව යනු, ජාමූඅ හි නියෝග පැනවීමට සම්පූර්නයෙන්ම කැප වී සිටින, මහා ව්‍යාපාරික ගැති පාලන තන්ත්‍රයකි. ශ්‍රී ලංකාවේ මහජනයා ජවිපෙ/ජාජබට දුන් ඡන්දය, එම පක්ෂය කෙරෙහි දැක් වූ ධනාත්මක සහයෝගයක් නොව, ධනේශ්වර ප්‍රභූවේ සාම්ප්‍රදායික පක්ෂවලට විරෝධය පල කිරීමකි.
සිසුන්, කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් මුහුන දෙන සමාජීය හා ආර්ථික ගැටලු විසඳීම සඳහා දිසානායක ආන්ඩුවට බලපෑම් කල හැකි බවට අවිශිබමය මිත්‍යාවක් වපුරමින් සිටී. අවිශිබම නායකත්වය විසින් තොරතෝංචියක් නැතුව කරන ආන්ඩුට එරෙහි විරෝධතා සහ සමාජ මාධ්‍ය විවේචන, හුදෙක් සිසුන් රැවටීම සහ ඔවුන්ගේ කෝපය වාෂ්පකර හැරීම සඳහා කරන දේවල් ය.
කොලඹ පැවති සම්මන්ත්‍රනයේ දී, උසස් අධ්‍යාපන ආයතනවලට බලපා ඇති ගැටලු කිහිපයක් චන්ද්‍රජිත් ගෙනහැර දැක්වීය. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුලු වන සිසුන් සංඛ්‍යාව 30,000 සිට 43,000 දක්වා ඉහල ගොස් ඇති මුත්, නේවාසිකාගාර පහසුකම් පුලුල් කර නොමැති බව ඔහු පැවසී ය.
මේ නිසා, එක් අයෙකුට මසකට රුපියල් 10,000 ක් හෝ රුපියල් 15,000 තරම් ඉහල දැරිය නොහැකි ගාස්තුවකට පෞද්ගලික නවාතැන් සොයා ගැනීමට සිසුන්ට සිදු වී ඇත. ඉහල යන වියදම් දරාගත නොහැකිව, බොහෝ දෙනෙකුට අර්ධකාලීන රැකියාවක් සොයා ගැනීමට බල කෙරී ඇති නිසා එමඟින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඇති කාලය අඩු වේ.
දුප්පත් සිසුන් සඳහා මහපොල (මූල්‍යාධාර) වාරිකය දැනට පවතින 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත්, ශිෂ්‍යාධාරය රුපියල් 6,500 සිට 10,000 දක්වා වැඩි කරන ලෙසත් චන්ද්‍රජිත් ඉල්ලා සිටියේ ය.
රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ගුරුවරුන් 12,992 ක් අවශ්‍ය මුත්, දැනට සිටින්නේ 6,448 ක් පමනක් බව ඔහු පැවසීය. උතුරු මැද පලාතේ රජරට විශ්වවිද්‍යාලය දූෂිත ජලය හේතුවෙන් පීඩා විඳින බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ඒ හා සමාන ගැටලු අනෙකුත් විශ්වවිද්‍යාලවල ද පවතී.
ඔහු තවදුරටත් වාර්තා කලේ, විවෘත විශ්ව විද්‍යාලයට සිසුන් 44,000 ක් පමන ඇතුලත් ව සිටින බවත්, එහි පාඨමාලා ගාස්තු තියුනු ලෙස ඉහල ගොස් ඇති බවත් ය.
මෙම දුෂ්කරතා ගෙනහැර දැක්වීමෙන් පසුව, චන්ද්‍රජිත්, අවිශිබම සම්මන්ත්‍රනයේ දී සිසුන්ට පැවසුවේ ඔවුන් ක්ෂනික විසඳුම් අපේක්ෂා නොකල යුතු බවයි!
නමුත්, මෙම ගැටලු ඉක්මනින් විසඳා නොගත හොත්, සිසුන්ට තම අධ්‍යාපන කටයුතු සම්පූර්න කර ගැනීමටත්, ගුරුවරුන්ට තම අධ්‍යයන කටයුතු සිදු කිරීමටත් නොහැකි වනු ඇත.
මෙය සිසුන්ට සහ තරුනයින්ට අවිශිබමයේ සහ පෙසප දේශපාලනයේ දේශපාලනික මාරක අන්තය හෙලිදරව් කරයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන අඩු වීම හුදකලා ගැටලුවක් නොව, ජාමූඅ විධානයන්ට ජවිපෙ/ජාජබ පූර්න කැපවීමේ කොටසකි. ඉහල බදු පැනවීම්, වසා දැමීම්, පුද්ගලීකරනය සහ රැකියා කප්පාදු හරහා—රාජ්‍ය ව්‍යවසායන් 400 ක් පමන ප්‍රතිව්‍යුහගත කිරීම සහ රාජ්‍ය අංශයේ රැකියා දහස් ගනනින් විනාශ කිරීම මෙම ජාමූඅ විධානයන්ට ඇතුලත් වේ.
1977 දී වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන් දා සිට, අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආන්ඩු රාජ්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ සඳහා වූ සීමිත වියදම් කපා හැර ඇති අතර, විවිධ ජාමූඅ වැඩසටහන් යටතේ ලාභය මත පදනම් වූ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා අවස්ථා නිර්මානය කර ඇත.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය අවධාරනය කරන්නේ, අරමුදල් කප්පාදුව, වඩ වඩාත් නරක අතට හැරෙන කොන්දේසි සහ පුද්ගලීකරනය මගින් අධ්‍යාපනයට එල්ල වන ප්‍රහාරවලට ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නොමැති බවයි.
සහන ඉල්ලා ආන්ඩුවට බලපෑම් දමමින් කල්මරන ලෙස අවිශිබම, පෙසප සහ වෘත්තීය සමිති නිලධරයන් කරන ඉල්ලීම්, සිසුන්ට සහ කම්කරුවන්ට දේශපාලන උගුලකි. දිසානායක පරිපාලනය ජාමූඅ ඉල්ලීම්වලට සම්පූර්නයෙන්ම කැප වී සිටී. එහි ඉලක්කය වන්නේ ආර්ථික ප්‍රතිසාධනය නොව, 2028 වන විට—2022 දී පැහැර හරින ලද—විදේශ නය ආපසු ගෙවීම් නැවත ආරම්භ කිරීම සඳහා රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීමයි.
ගෝලීය ධනවාදී පසුබෑමේ ගිලී ඇති ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අර්බුදයට ජාතිකවාදී විසඳුමක් නොමැත. එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සුභසාධන වැඩසටහන් කප්පාදු කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කරමින්, යුද්ධයට සූදානම් වෙමින් සහ ඒ අනුව ඔවුන්ගේ ආර්ථිකයන් ප්‍රතිව්‍යුහගත කරමින් සිටිති.
අධ්‍යාපනය ඇතුලු දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදල් නොමැති බවට ජවිපෙ/ජාජබ පරිපාලනය කරන ප්‍රකාශය බොරුවකි. විදේශ නය ආපසු ගෙවීම් සහ මූල්‍ය ප්‍රභූව පොහොසත් කිරීම සඳහා යොදවනු ලබන්නේ මහජන මුදල් ය.
සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කල යුතු යැයි සසජාතශි කියා සිටී. කලින් ධනේශ්වර පාලන තන්ත්‍රයන් විසින් ගොඩ ගසන ලද නය සඳහා ශ්‍රී ලාංකික කම්කරුවන් සහ දුප්පතුන් වගකිව යුතු නැත. ධනවතුන් විසින් ගොඩ ගසා ගෙන සිටින ධනය අත්පත් කර ගෙන, අවශ්‍ය සියලු පහසුකම් සහිත, ගුනාත්මක අධ්‍යාපනයක් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කල යුතු ය.
ජාමූඅ වැඩසටහන ප්‍රතික්ෂේප කරන ලෙසත්, සියලුම ප්‍රධාන සමාගම්, වතු සහ බැංකු ජනසතු කර, ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරන ලෙසත් සසජාතශි ඉල්ලා සිටී.
මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුවට, එහි ජාමූඅ න්‍යාය පත්‍රයට සහ එය නියෝජනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව දේශපාලන අරගලයක් අවශ්‍ය වේ. මෙම අරගලයේ දී සිසුන් හැරිය යුතු වන්නේ—ලාභ පද්ධතියට සහ එය ආරක්ෂා කරන ආන්ඩුවට එරෙහි අරගලයට නායකත්වය දිය හැකි විප්ලවවාදී බලවේගය වන—කම්කරු පන්තිය වෙතට ය.
ධනේශ්වර රාමුව තුල තමන් කොටු කිරීමට උත්සාහ කරන අවිශිබම සහ අනෙකුත් සියලුම දේශපාලන සංවිධාන ප්‍රතික්ෂේප කරන ලෙස සසජාතශි, සිසුන්ගෙන් ඉල්ලා සිටී. සිසුන් තම ශක්තිය යෙදවිය යුත්තේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් සටන් කරන සමාජවාදී සමානතා පක්ෂයට උදවු කිරීම සඳහා ය.
ලෝක සමාජවාදී වෙබ් අඩියෙන් උපුටා ගත්තකි.