ජවිපෙ /ජාජබ යටතෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැරට් අලය නැවතත් කරළියට !

0
download (41)

ප්‍රියන්ත සිල්වා විසිනි

විධායක ජනාධිපති ධූරය බලගැන් වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙරටට හඳුන්වා දී වසර 47 ක් ගතවී තිබේ.එහි ගැටලුකර තත්වයන් හා ජනතා විරෝධී ස්වරූපයන් පිළිබඳ මෙරට ජනතාවට ඇත්තේ සුලුපටු අත්දැකීම් සමුදායක් නොවේ. ‘මෙම ව්‍යවස්ථාව අහෝසි කළ යුතුය’ යන්න මෙරට දේශපාලනයේ දීර්ඝ කාලීනව සංවාදයට ලක් වෙමින් පැවතියද එය මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වී තිබේ.එමෙන්ම මෙම ව්‍යවස්ථාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුය යන අදහසටද පක්ෂපාතී වූ දේශපාලන ඒකරාශී වීම් ගණනාවක්ම පවතී.

 අධිකාරිවාදී පාලනයක් සඳහා කැපවූ දේශපාලන පක්ෂ මෙන්ම කුඩා ජන බලයක් සහිත දේශපාලන පක්ෂ කණ්ඩායම් ද විධායක ජනාධිපති ධුරය සහිත ව්‍යවස්ථාවට ඍජුව හෝ වක්‍රව සහයෝගය දක්වති.මේ ව්‍යවස්ථාවේ ජනතා විරෝධී ස්වරූපය පිළිබඳ සංවාදය මතු වන සෑම අවස්ථාවකදීම, ‘මෙම ව්‍යවස්ථාව අහෝසි කළ යුතුය’ යන මතය විශාල ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් ලෙස දේශපාලන කරලියට පිවිසේ.මෙම ස්වරූපය පසුගිය වසර 40 කට වැඩි කාල සීමාවක් තුල දක්නට ලැබුණි.එය අදාල කාල පරිච්ඡේදයේදී එළඹෙන ජනපතිවරණ හා මහා මැතිවරණවලදී අති මහත් ජන ප්‍රසාදයට ලක් වූ මැතිවරණ පොරොන්දුවකි.

 1994 ,95 වර්ෂවල පැවති මැතිවරණවලදී මේ සම්බන්ධයෙන් වඩාත් තියුණු අදහස් උදහස් විවාදයට හසු වෙමින් ඉදිරියට පැමිණියේය.එයට හිමි වූයේද විශාල ජන ප්‍රසාදයකි.හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මැතිවරණ ජයග්‍රහණයන්ට මෙම බලාපොරොත්තු සහගත ප්‍රතිචාරය සැළකිය යුතු උත්තේජනයක් ලබා දුනි.මෙම ව්‍යවස්ථාව යටතේ වසර 17 ක් තුල පැවති මහා අගතිගාමිත්වය අවසන්වනු ඇතැයි මෙරට ජනතාව මහත් උද්යෝගයෙන් බලාපොරොත්තු සහගත ව සිටියහ.නමුත් එම පාලනය, මෙම ව්‍යවස්ථාව අහෝසි කිරීම ඇතුලු ලබා දුන් පොරොන්දු හිස් අවකාශයට විසිකර දැමුවේය.”චන්ද්‍රිකා මැතිණිය වමට සිග්නල් දමා රට දකුණට හැරවූවා”යන සඳහන මෙම පාලන කාලයේදී ජනතාව අතර ප්‍රචලිත විය.ජනතා බලාපොරොත්තු බිඳ වැටුණි.විධායක ජනාධිපති බලය තරමක් දුරට හෝ හීලෑ කරන ලද 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබුවේද ජනතා බලයක් හා විපක්ෂයේ දැඩි බලපෑම මතය.

 අනතුරුව තවත් බලාපොරොත්තු රැසක් මධ්‍යයේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගිලිහී ගිය විධායක බලය නැවත වරක් ශක්තිමත් කර ගත්තේය.එතෙක් දෙවරකට පමණක් සීමා වී තිබූ විධායක ජනාධිපති ධූරය,බලයේ සිටින ජනාධිපතිවරයාගේ ජීවිත කාලය අවසන් වන තෙක් පවත්වා ගෙන යාමට ඇති හැකියාව ස්ථාපිත කළේය.මෙම වකවානුවේ පැවති පාලන තන්ත්‍රය මෙරට හැකිළෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් හකුලා දැමූ කාල පරිච්ඡේදයකි.මෙයට විරුද්ධව ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග යහපාලන රජය බලයට ගෙන ආවේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මෙම පාලනයේ ප්‍රමුඛතම අංගයක් ලෙස ප්‍රචලිත කෙරුණි.19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් මෙම ධුරය අවසන් කිරීමේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යන බව එම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරු ප්‍රකාශ කර සිටියහ.එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන “මම මෙරට පාලනයේ අවසන් විධායක ජනාධිපතිවරයා”වන බවද ප්‍රකාශ කර සිටියේය.

 නමුත් මේ ක්‍රියාන්විතයන් බලගැන්වීමට පෙර සිරිසේන ජනපතිවරයා සිය සුපුරුදු දේශපාලන මහ ගෙදර වෙත පියවර තැබුවේ ,ඔහු ජනපතිවරයා වූයේ ‘නිර්පාක්ෂික අපේක්ෂකයෙකු වශයෙනි’ යන්න අමතක කරමිනි.ඉන් අනතුරුව රටේ දේශපාලනයේ ඇති වූයේ බරපතල ව්‍යාකුල බවකි.මින් පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන මාතෘකාවේ දීප්තිය ක්‍රමයෙන් සිඳී ගියේය.දැවැන්ත ජන ප්‍රසාදයකින් බලවත් වූ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සිදුවන්නේ මෙහිදීය.එම අවස්ථාව වන විට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මාතෘකාව පණ ගැහෙමින් තිබුණි.ඒ සම්බන්ධයෙන් පැවති ජනතා අභිලාෂයන් ද සිඳී යමින් පැවතුණි.මතු වූයේ අතිශය බලාධිකාරයකට යටපත් වූ දුර්දාන්ත පාලන රටාවකි.

 මෙම සියලු බිඳ වැටීම් යථාර්ථයක් කර ගැනීමේ අවස්ථාව ජනතාව රඳවා තැබුවේ වත්මන් N.P.P.පාලනය වෙතය.ඔවුහු විපක්ෂයේ සිටියදීද මැතිවරණ උද්ඝෝෂණ තුලද විධායක ජනාධිපති ධූරය ඇතුලත් ව්‍යවස්ථාවේ දුර්විපාකයන් දැඩි ලෙස මතු කළහ.දැන් එම මහත්ඵල මහානිසංස කර්තව්‍යයයේ මුව දොරට මෙරට ජනතාව පිවිස සිටිති.වරින් වර ආණ්ඩුව පැත්තෙන්ද  මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය යන අදහස නිවි නිවී දැල්වෙමින් තිබුණද,නිශ්චිත ක්‍රියා මාර්ගයක් වෙත පිවිසෙන බව මෙතෙක් විද්‍යාමාන නොවේ.පවත්නා විධායක බලය හා පාර්ලිමේන්තුවේ අති බහුතර බලය මත මෙම අරමුණ වෙත ළඟා විය නොහැක්කේ ඇයිද? යන පැනය මේ වන විට ජනතාවගේ විමසිල්ලට ලක් වෙමින් තිබේ.

 නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණ කෙසේ වෙතත් පවත්නා රජය සිය බල අධිකාරිත්වය පෝෂණය කර ගැනීමේ අස්ථානයක් වෙත වේගයෙන් ළඟා වෙමින් සිටින බව පැහැදිලි වේ. ‘ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීමේ පනත’ ලාංකේය දේශපාලනය වෙත පිවිසෙමින් තිබේ.මෙය මෙරට ප්රජාතන්ත්රීය දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කළ මර්ධනීය පනත්වල මුහුණුවරින් වෙනස් නොවූවක් බව විවේචනයට හසු වෙමින් තිබේ.මේ අනුව තව දුරටත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මාතෘකාව වත්මන් දේශපාලන අභ්‍යාසයන් තුල ඉදිරියට ගත හැකිද යන්න බලවත් සැක සංකා ඇති කරන්නකි.

 විධායක ජනාධිපති ධූරය අහෝසි කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු හා විරෝධයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව මේ ගැන අදහස් දක්වන ව්‍යවස්ථා සම්පාදකයෝ කියති.පළාත් සභාව හා මධ්‍යම රජය අතර පවත්නා බල අධිකාරියේ ගැටීම් මෙහිදී ඔවුහු පෙන්වා දෙති.පළාත් සභාවල විධායක ජනාධිපති අධිකාරී බලය පළාත්  ආණ්ඩුකාරවරයාට හිමි වේ.විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේදී මෙම ධුරය ඉවත් කිරීමෙන් අනතුරුව මධ්‍යම රජය සමග පවත්නා බලය පවත්වා ගැනීමේ මාධ්‍යය පිළිබඳ නිශ්චිත එකඟතාවයක් ඇති කර ගැනීමේ ගැටළුව උද්ගත වේ.ඒ සඳහා ඇති කළ යුතු බල අධිකාරිය කුමක්ද යන්න ගැන  දැඩි අවධානය යොමු විය යුතු ය යන්න මේ ගැන අදහස් දක්වන ඇතැම්හු පෙන්වා දෙති. 

 කුඩා ජන සහභාගීත්වයක් ඇති පක්ෂ, ජනාධිපතිවරණයකදී නිසැකවම ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හැකියාව ඇති අපේක්ෂකයාට සහයෝගය ලබා දෙති.ඒ යටතේ සිය අභිලාෂයන් සහතික කර ගැනීමත්,දේශපාලන රැඳියාව සහතික කර ගැනීමත් බලාපොරොත්තු වෙති.විධායක ජනාධිපති ධූරය ඉවත් කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී එම පක්ෂවලින් මතුවන ප්‍රතිවිරෝධතාවයන් ගැන අවධානය යොමු කිරීම වැදගත් කරුණක් බව මේ විරෝධතාවයන් මතු කරන ඇතැම්හු පෙන්වා දෙති.එමෙන්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සිදුවන බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍ය සංකල්පයට බලපෑමක් ඇති වෙතැයි ඇතැම්හු බිය පල කරති.

1972 ජනරජ ව්‍යවස්ථාව සැකසීමේදී, සුලු ජාතික පක්ෂ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූහ.ඊට හේතු වූයේ ජාතික ප්‍රශ්නය හා භාෂා ගැටලුවේදී සිය මතවාදයන් ඉදිරියට ගැනීමට නොහැකි වීමයි.සමගි පෙරමුණ නියෝජනය කළ වමේ දේශපාලන පක්ෂවලටද සිය ස්ථාවරයන් ජයග්‍රහණය කිරීමට නොහැකි විය.එම මතවාදයන් ජයග්‍රාහී ධනේශ්වර බලපෑම් ඉදිරියේ පරාජයට පත් වුණි. වර්තමානයේදී ද මේ සම්බන්ධයෙන් බලවත් විවේචනාත්මක තත්ත්වයන් දේශපාලන ක්ෂේත්‍රයේ මතු වේ.

 කෙසේ වුවද වසර ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනයේ බලවත් විවේචනයට හසුව තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කාර්යය මේ වන විට පසු පසට ඇදෙමින් තිබෙන බව පැහැදිලිය.පසුගිය අරගලයෙන් මතු වූයේ මේ පරාජිත ස්වරූපය මකා දැමිය යුතුය යන්නයි.එහිදී හඬ නැගුණු ‘බලයක් බලයක් ජනතා බලයක් ‘යන උද්ධෘතයේ උණුසුම මේ වන විට යටපත් වී ඇත.එසේ වුවද ‘ක්‍රම වෙනසක ‘අවශ්‍යතාවය දැඩි ලෙස ඉස්මතු ව ඇති බව ඉතාම පැහැදිලිය.

                       

ජායා රූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *