වෙනිසියුලාවේ ජනාධිපති සහ ඔහුගේ බිරිද පැහැර ගැනීම ඇමරිකාවට අවනත නොවන රට වලට කරන ලද අනතුරු ඇගවිමක් !
ප්‍රියන්ත සිල්වා. විසිනි
ජනවාරි 03 වෙනි දින අලුයම අමෙරිකා එක්සත් ජනපදයේ හමුදා විසින් වෙනිසියුලාවේ කැරකාස් නගරයටත් තවත් හමුදා කඳවුරු කීපයකටත් ම්ලේච්ඡ ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලද අතර එරට ජනපති ‘නිකලස් මදුරෝ’ සමග ඔහුගේ බිරිඳ අත් අඩංගුවට ගන්නා ලදි.මෙවැනි ක්‍රියාමාර්ගයකට අමෙරිකාව පිවිසියේ මීට පෙර අවස්ථා කීපයකදී මදුරෝ වෙත කරන ලද අනතුරු ඇඟවීම්වලින් පසුවය.
මෙය ස්වෛරී,ස්වාධීන රාජ්‍යකට අධිරාජ්‍යවාදයේ හස්තය දිගු කළ නින්දිත පිළිකුල් සහගත ප්රහාරයකි.මේ ප්‍රහාරයේ ස්වරූපය පැහැදිලිවම මීට පෙර අවස්ථාවකදී ඉරාකයට එල්ල කරන ලද හමුදා ක්‍රියාකාරිත්වයට සමාන බවක් පෙන්නුම් කරයි.ඊට හේතු වන්නේ,මෙය නිශ්චිතව සපයාගත් තොරතුරුවලින් බැහැර වූ ව්‍යාජ මානයන් උපයෝගී කර ගනිමින් සිදු කරන ලද ප්‍රහාරයක් වීමයි.
මෙහිදී අමෙරිකානු රජය විසින් මදුරෝ පාලනයට එල්ල කරන ලද චෝදනාව වූයේ මත් ද්‍රව්‍ය ප්රමුඛ කරගත් තහනම් ද්‍රව්‍ය අමෙරිකානු භූමිය වෙත සැපයීමය.මෙය නිශ්චිත කරුණු මත කරන ලද නිරවුල් චෝදනාවක් නොවේ.එය මීට පෙර ඉරාකය සතුව රසායනික හා ජීව විද්‍යාත්මක අවි ආයුධ ඇති බවට කරන ලද චෝදනාවට බෙහෙවින්ම සමාන වේ.වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට මදුරෝගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇතිනම් එය නිරවුල් කිරීමේ බලධාරියා ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේ.එරට ඛණිජ තෙල් නිෂ්පාදනයේ අඩාලවීම් ගැන අමෙරිකාව සතු වගවීමක්ද නැත.
මෙම ප්‍රහාරය සිදු කිරීමේ ආසන්නම හේතු ලෙස පිළිගැනීමට හසුවන්නේ වෙනිසියුලාව සතු අතිවිශාල ඛණිජ නිධි අමෙරිකානු පාලනය යටතට ගැනීමේ අරමුණයි.එමෙන්ම මදුරෝගේ පාලනය අමෙරිකානු බලයට අවනත නොවීමයි.මේ ඇඟවීම් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ප්‍රහාරය අවසානයේදී කරන ලද ප්‍රකාශවලින් පැහැදිලිවම විදහා දැක්වුණි.ඔහු කියා සිටියේ වෙනිසියුලාවේ නිදහස් පාලනයක් ඇති කරන අතර එහි ඛණිජ තෙල් සම්පත් වඩාත් ලාභදායි ව්‍යාපාරයන් බවට පරිවර්තනය කරන බවයි.මෙතැන් සිට වෙනිසියුලාවේ පාලනය තම බලය යටතේ සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ ,අමෙරිකානු පාලනයේ පවත්නා, තම බලයට අවනත නොවන රාජ්‍යයන් නිහඬ කිරීමේ අභිලාෂයයි.මෙය නිදහස්, ස්වෛරී රටක පාලනයකට එරෙහිව කරන ලද ආක්‍රමණයක් පමණක් නොව,අමෙරිකානු පාලනයට අවනත නොවන ලෝකයේ ඕනෑම රටකට සිදු කරනු ලබන තරවටු කිරීමක් බව පැහැදිලිය.අනෙක් අතට ලතින් අමෙරිකානු කලාපයේ නැගී එන වාමගාමී දේශපාලනය ගැන දක්වන නුරුස්සන සුලු හා ප්‍රතිවිරුද්ධ බව මින් ප්‍රකට වේ.
අමෙරිකානු පාලනය විසින් ලතින් අමෙරිකානු කලාපයේ ස්වාධීනත්වය යටපත් කළ අවස්ථා ගණනාවකි.සැල්වදෝර් අයෙන්දේගේ පාලනය හමුදා කුමන්ත්රණයකින් බිඳ දැමීම,පැනමා ආක්‍රමණය මින් ප්‍රමුඛය. නිකරගුවා,ගෝතමාලා වැනි රටවල වාමවාදී ආණ්ඩු පෙරලා දැමීමට සී.අයි.ඒ.සංවිධානය විසින් සිදුකරන ලද කුමන්ත්රණකාරී මැදිහත්වීම්ද මීට සමීප අත්දැකීම් වේ.
එමෙන්ම කියුබානු පාලනය බිඳ දැමීමට ක්‍රියාත්මක වූ අමෙරිකානු බලපෑම අති මහත්ය.මේ ස්වරූපය පැහැදිලිවම ලෝකයේ පැන නැගෙන අධිරාජ්‍ය විරෝධී ඉදිරි ගමන කපා දැමීමට දරන වෑයමක් වන අතර ලෝකයේ ස්වභාවික ධන සම්පත් බහුල ස්වාධීන රටවල සම්පත් පැහැර ගැනීමේ ක්‍රියාවලියේ තියුණු අවස්ථාවකි.
“මෙවැනි මිලිටරි මෙහෙයුමක් ලෝකයේ වෙනත් කිසිදු රටකට සිදු කිරීමේ හැකියාවක් නොමැති යැ”යි මෙම ප්‍රහාරය අවසානයේදී අමෙරිකානු පාලකයා මාධ්‍යට කියා සිටියේ මහත් අභිමානයෙනි.එහෙත් මේ ප්‍රකාශයට පත් කළේ, ලෝක අධිරාජ්‍යවාදයේ කඩා වැටීම වසා ගැනීමට අමෙරිකානු පාලනය දැරූ නින්දිත,තුච්ඡ ප්රයත්නයකි.වෙනිසියුලියානු රාජ්‍යයේ සිදු වූ දේපල හානි,සමාජ ආර්ථික බිඳ වැටීම් හා මිනිස් ඝාතනවල වගකීමෙන් අමෙරිකානු පාලනයට නිදහස් විය නොහැක.මෙය ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමේ මුහුණුවරින් අමෙරිකානු පාලනය විසින් ඉදිරියට ගෙන එනු ලබන නව ලිබරල්වාදයේ පරාජයක් මිස එහි ජයග්‍රහණයක් නොවේ.
අධිරාජ්‍යවාදී භීෂණයේ ව්‍යාප්තියට තව දුරටත් ලෝක ප්‍රජාවට මුහුණ පෑමට සිදුවනු ඇත.මේ එහි ආරම්භක හා අවසන් ප්රකාශනය නොවේ.මෙවැනි විදහා පෑම් පරාජය කිරීමේ එක්සත් ක්‍රියාමාර්ගයක දැඩි අවශ්‍යතාවය මේ මොහොතේ මතු වී ඇත.ඒ සඳහා පෙළ ගැසීම නිදහස,ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදය ගරු කරන ලෝක ප්‍රජාවගේ වගකීමයි.