ඇප කොන්දේසි කඩලා – කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග

0
images-11

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස දන්වා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. 

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

වරෙන්තුව නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියෝග කළේ එම වරෙන්තුව වහා ක්‍රියාත්මක කරන ලෙසයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහු පෙරේදා අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කර තිබුණා.

අද දින අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇපය තැබීම සඳහා රුපියල් 15000/- බැගින් මුදල් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඇපකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ක්‍රියාව තුළින් සැකකරු අධිකරණය විසින් තමන්ට නියම කළ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරියා චෝදනා කළා.

මෙම ක්‍රියාව හරහා සැකකරු අධිකරණයේ විශ්වාසය උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කර ඇති හෙයින් 1997 අංක 30 දරණ ඇප පනතේ 14()1 සහ 14(3) වගන්ති යටතේ සැකකරුගේ ඇප අවංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරියා දූෂණ විරෝධි පනතේ 149(1) වගන්තිය යටතේ මෙම සැකකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. 

එමෙන්ම ඇප මත මුදාහැර මේ වන විට බන්ධනාගාරයෙන් පිටව ගොස් සිටින  මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසද අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාර කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස නියම කළා.

court mews වෙතින් උපුටා ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *