යාපනයේ විද්‍යා ඝාතනය: විත්තිකරුවන්ගේ මරණ දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි

0
1775443300-25-68ac29615caa3-md-600x375

2015 වසරේ යාපනය, පුංකුඩු තීවූ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවට යාපනය ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කර සිටි මහාලිංගම් සශි කුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා.

ඒ අනුව මහලිංගම් සශී කුමාර් හෙවත් ස්වස් කුමාර්, පූබාලසිංගම් ජය කුමාර් , තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් හතර දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමටද අධිකරණ තීන්දු කළා.

මේ අතර අදාල චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මහලිංගම් සසීදරන් හෙවත් ශෂී සහ ජයදරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනාගේ දඬුවම් ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටත් නියම කළා.

අදාල විත්තිකරුවන් විසින් සිය දඬුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2015 වසරේ මැයි මස 13 වනදා පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා පාසල නිමවී සිය නිවස කරා පාපැදියකින් එමින් සිටියදී සුදු පැහැති වෑන් රථයකින් ඇය පැහැරගෙන පාලු නිවසකට රැගෙන ගොස් සමුහ දූෂණයට ලක් කර ඇය මරා දැම්මා තිබූ බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන තිබෙන සුවිස් කුමාර් නමැත්තාව ගම්වැසියන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන්න ද පසුව ඔහු උසස් පොලිස් නිලධාරියකුගේ අනුග්‍රහය ඇතිව පලා ගොස් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට පත් වූ බවත් තීන්දුවේ සඳහන් වුණා.

පසුව මේ සැකකරුට පලායාමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් කටයුතු කළ ලලිත් ජයසිංහ නමැත්තාට එරෙහිව නඩු පැවරූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු වී මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඉන් අනතුරුව ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව චෝදනා 41 ක් යටතේ නීතිපතිවරයා විසින් යාපනය මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 36 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගනු ලැබූ අතර ඉන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් බවත් තීන්දුවේ ප්‍රකාශ වුණා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා ” මෙම දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ කුමන්ත්‍රණයට ස්විස් කුමාර් නමැත්තා මූලිකත්වය ලබාදී ඇති බවත් වරදකරුවන් කෙරුණු සෙසු විත්තිකරුවන් ඊට සහ අනුබල ලබාදී තිබෙනවා. පාසල නිමවී ආපසු නිවස කරා ගමන් කරමින් සිටි විද්‍යා දැරිය සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ ක්‍රියාදාමයට මෙම විත්තිකරුවන් දායකත්වය ලබාදී තිබෙන බව සාක්ෂි වලින් ඔප්පු වී තිබෙනවා. ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකු අදාල දැරිය දූෂණය කර ඇති බව නඩු විභාගයේදී තහවුරු වුණා. එක් විත්තිකරුවකු මෙම දූෂණය කරන අවස්ථා වීඩියෝ ගත කර තිබෙන බවත් සාක්ෂි වලින් අනාවරණය වුණා. මෙම දැරිය දූෂණය කර එම අවස්ථාව වීඩියෝ ගත කර විදේශයක ක්‍රියාත්මක වන කල්ලියක් වෙත අලෙවි කිරීම සඳහා ඔවුන් මෙම ක්‍රියාව සිදු කර තිබෙන බවත් නඩු විභාගයේදී හෙළිදරව් වී තිබෙනවා. පසුව මෙම ඝාතනය නාවික හමුදාව වෙත පැවරීමට මෙම විත්තිකරුවන් කූට ලෙස තැත් කර තිබෙන ආකාරයත් නඩු විභාගයේදී අනාවරණය වුණා. ” යනුවෙන් සඳහන් කළා.

ඉන් අනතුරුව තවදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරුවරයා” ස්විස් කුමාර ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ විද්‍යා දැරිය පැහැරගෙන යාම, සමූහ දූෂණයට ලක් කිරීම , ඇය ඝාතනය කිරීම යනාදී අපරාධයන් සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශියක් ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා එම නඩුව විභාග කළ යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙනවා.” ඒ අනුව ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරදකරු කිරීමට ගනු ලැබූ තීරණය සහ ඔවුන්ට පැනවූ දඩුවම් තහවුරු කරන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.

ඒ අනුව සිය දඬුවම් ඉවත් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් හතර දෙනා ඉදිරිපත් කළ අභියාචනා නිෂ්ප්‍රභ කරන බවත් තීන්දුවේ ප්‍රකාශ වුණා.

එහෙත් මහාලිංගම් සශීදරන් සහ ජයදරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවත් අග විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ඔවුන්ට පැනවූ දඬුවම් වලින් ඔවුන් නිදහස් කරන බවත් ඔවුන්ගේ අභියාචනා පිළිගන්නා බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් කියා සිටියා.

මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර මරණීය දණ්ඩනය නියම වී සිටි තවත් විත්තිකරුවකු වන පූබාලාසිංහම් තේවකුමාර් හෙවත් සෙන්දිල් නමැත්තා මිය ගොස් තිබුණා.

ඒ අනුව වැඩිදුර කටයුතු කිරීම සඳහා මෙම නඩු තීන්දුව යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල වෙත යොමු කරන ලෙසත් වැඩිදුරටත් තීන්දුවේ සඳහන් වුනා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතා පෙනී සිටි අතර
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන, නීතිඥ දර්ශන කුරුප්පු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

court news වෙතින් ලබා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *