ජාජබ/ජවිපෙ ආණ්ඩුව ඊශ්‍රායලය පිනවීමට, ඊශ්‍රායල් විරෝධීන් දඩුකදේ ගසයි

සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඊශ්‍රායල් කොඩියක් පාගාගෙන සිටින විඩියෝවක් තරුණයෙකු ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ හුවමාරු කළා යැයි දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදි පනත යටතේ මාස 09 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම තරුණයා එම පනත යටතේ අපරාධයක් කර නොමැති බව විමර්ශන වලදි අනාවරන වි ඇති බැවින්, ඔහු ඇප මත මුද්‍රහරින්නැයි පොලිසිය අතීරේක මහේස්ත්‍රාත්වරියගෙන් කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් මැයි මස 27 වන දින උධෘත සකස් කරමින් නීති කොට්ඨාසයට හා නීතිපතිවරයා වෙත යොමු කරමින් නීති උපදෙස‍් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව ත්‍රස්තවාදි පනතට ආදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ බලයක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය පොලිසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී ඇත.
සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට සාක්කි තමන් සතුව ඇතැයි පොලිසිය මින් පෙර අධිකරණයට කරනු වාර්තා කර ඇති බවත් මාස 09 කට පසු සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්‍ෂී නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා දෙහිවල පොලිසියෙන් විමසා ඇත.
ත්‍රස්තවාදය පනත යටතේ සැකකරුට එරෙහිව කිිදු අපරාධයක් අනාවරණය නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීති කොට්ඨාසය මගින් නීතිපති දැනුවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බවත් ඇය පැවැසුවාය.
මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් 21 හැවිරිදි තරුණයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙහිවල පොලිසිය මගින් පසුගිය ඔක්තෝම්බර් 25 වනදා මාවනැල්ලේ ඔහුගේ ගෙදරදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදි පනත යටතේ බොරු චෝදනා ගොනු කර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
සුහායිල් අත්අඩංගුවට ගත් පසු නිට්ටඹුව ප්‍රදේශයේ රුෂ්ඩි නැමති තරුණයා කොම්පඤ්ඤවිදීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදි වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටියේය. ඔහු සේවය කළ වෙළද සංකීරණයේ කසල බදුනක “ෆක් ඊශ්‍රායල් ” නමින් මුද්‍රණය කළ ස්ටීකරයක් ඇලෙව්වා යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබුණි. රුෂ්ඩි අත්අඩංගුවට ගැනිමට එරෙහිව පැනනැගුනු උද්ඝෝෂණ හමුවේ ඔහුව ඇප මත නිදහස් කිරීමට පාලකයන්ට සිදු විණ.
පලමු වතාවට සුහායිල් දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ ඔක්තෝම්බර් 23 වනදාය. ඔහු අත්අඩංගුවට පත් වන්නේ කුලී කාමරයක් සෙවීමට දෙහිවල ප්‍රදේශයට ගොස් සිටියදීය. ජාතික හැදුනුම්පත සන්තකයේ නැතැයි චෝදනා කොට පොලිසිය සුහායිල්ව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රත් හේමාලි හල්පන්දෙණිය වෙත ඉදිරිපත් කර ඇති අතර සුහායිල්ගේ පිය පුතාගේ ජාතික හැදුනුම්පත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර තිබිණ. ඔහු නිදහස් කළ දින රාත්‍රියේ සුහායිල් සහ ඔහුගේ පියා ගෙදර යන්නට පෙර දෙහිවල පොලිසිය මාවනැල්ලේ සුහායිල්ගේ නිවසට ගොස් තිබිණ. ඔහුගේ දෙමව්පියන් විරුද්ධ වෙද්දි , ඔහුව රැගෙවිත් ඇත්තේ කටඋත්තරයක් ලබාගෙන මුදාහරින පොරොන්දුව මතය.
ජුලි 15 වනදා නැවත නඩුව කැදවන්නේ නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදිනට සුහායිල් අධිකරණයට කැදවාගෙන එන්නැයි බන්ධනාගර අධිකාරීවරයාට නියෝග කළාය. සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු ,රෂාඩ් අහමඩ්,ඉල්හාම් හසන් අලි සහ මොහොමඩ් ෆර්සාන් යන නීතිඥවරු පෙනි සිටියහ.
මෙම ප්‍රවෘත්තිය සකස් කරන ලද්දේ සිංහල බීබීසී අනුග්‍රහයෙනි.