රාජකීය විද්‍යාලයේ කෝටි ගණනක රග්බි අරමුදල් වංචාවේ රහස් එළියට – එම තොරතුරු මහජනයා හට ලබා දෙන්නැයි තොරතුරු කොමිසම නියෝග කරයි !

0
images (87)

වසර හතකට ආසන්න කාලයක් තිස්සේ පාසල් රග්බි ක්‍රීඩකයන්ගේ ලෙයින්, කඳුලෙන් සහ දහඩියෙන් උපයාගත් කෝටි 1.7ක පමන මුදලක් රහසක් ලෙස සඟවාගෙන ඇති බවත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු කළ ඉල්ලීමකට අනුව රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පාරදෘශ්‍යභාවය වෙනුවෙන් තීරණාත්මක තීන්දුවක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ලබා දී ඇත.

තොරතුරු කොමිෂන් සභාවේ අංක RTIC/Appeal/556/2024 දරන අභියාචනා තීන්දුව මගින්, කොළඹ 07 රාජකීය විද්‍යාලයේ රග්බි තරග ටිකට් පත් අලෙවියෙන් ලැබුණු මුදල් වංචා කිරීමේ සිදුවීමට අදාළ සියලුම ගිණුම් වාර්තා වහාම මහජනතාවට නිකුත් කරන ලෙස විද්‍යාලයීය බලධාරීන්ට අනිවාර්ය නියෝගයක් නිකුත් කර තිබේ.

මෙමගින් ආදි ශිෂ්‍ය සංගම් නමැති වරප්‍රසාදලත් ආවරණය පිටුපස සැඟවී රාජ්‍ය විගණනයෙන් මිදීමට උත්සාහ කළ බලධාරීන්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි.

වසර 7ක්, තරග වාර 2ක් සහ රුපියල් කෝටි 1.7ක අතුරුදහන් වීම!

මෙම මහා ආන්දෝලනාත්මක සිදුවීම ආරම්භ වන්නේ 2017 සහ 2018 වසරවල රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වුණු පළමු එකොළොස් දෙනාගේ රග්බි තරග වාරයන් මුල් කරගනිමින් ය. තොරතුරු පනත යටතේ කළ විමර්ශන සහ අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවලින් හෙළි වී ඇත්තේ, ටිකට් පත් අලෙවියෙන් ලැබුණු රුපියල් මිලියන 10 කට අධික මුදලක් (සමස්ත වටිනාකම රුපියල් මිලියන 17.6 ක් පමණ) පාසල් නිල ගිණුම්වලට බැර නොකර සඟවාගෙන ඇති බවයි.

ක්‍රීඩා තරග වාරයක් අවසන් වූ වහාම අදාළ මුදල් පාසලට බාර දෙනවා වෙනුවට, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ (RCU) රග්බි තරග සංවිධායක කමිටුව (RMOC) නමැති අනුකාරක සභාවට වසර හතකට වැඩි කාලයක් මෙම මුදල් රඳවා ගැනීමට පාසල් පාලනාධිකාරිය ඉඩ දී තිබුණි.

මේ පිළිබඳව විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු විසින් 2024 පෙබරවාරි 06 වැනි දින තොරතුරු පනත යටතේ අමාත්‍යාංශ චක්‍රලේඛ, හිඟ මුදල් ඉල්ලා යැවූ ලිපි, විගණනය කළ ආදායම්-වැය වාර්තා සහ පොලී ගණනය කිරීම් ඉල්ලා සිටියද, රාජකීය විද්‍යාලයේ තොරතුරු නිලධාරියා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද වසර ගණනාවක් තිස්සේ ඊට කිසිදු පිළිතුරක් නොදී සම්පූර්ණයෙන්ම මගහැර සිටියේය.

“පෞද්ගලික ආයතන” ලේබලයෙන් රහස් සඟවන්න හැදූ උත්සාහය බිඳ වැටෙයි

කොමිෂන් සභාව හමුවේ අභියාචන විභාගය පැවැත්වෙද්දී, රාජකීය විද්‍යාලයීය බලධාරීන් ප්‍රකාශ කර සිටියේ රාජකීය විද්‍යාලයීය සංගමය (RCU) යනු පාසල් පාලනයෙන් බැහැර පෞද්ගලික ආයතනයක් බැවින් එහි අභ්‍යන්තර මුදල් වාර්තා ලබාදිය නොහැකි බවයි. එමෙන්ම RCU හි සභාපති ලෙස විදුහල්පතිවරයා කටයුතු කරන්නේ “නාමිකව” පමණක් බවද ඔවුහු තර්ක කළහ.

නමුත් තොරතුරු කොමිෂන් සභාව එම සියලු තර්ක පදනම් විරහිත බව පෙන්වා දෙමින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය

විදුහල්පතිවරයා යනු නාමික ඡායාවකට එහා ගිය බලධාරියෙකි: RCU ව්‍යවස්ථාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ 54/2023 චක්‍රලේඛය පරීක්ෂා කළ කොමිෂන් සභාව, විදුහල්පතිවරයා සංගමයේ මුදල් කමිටුවේ සභාපතිත්වය උසුලමින් සියලු මූල්‍ය තීරණ සහ විගණන වාර්තා අධීක්ෂණය කරන ප්‍රධාන බලධාරියා බව තහවුරු කළේය.

රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල්: පාසල් ක්‍රීඩා පිටිය සහ රාජ්‍ය දේපළ භාවිත කරමින්, ශිෂ්‍යයන්ගේ ක්‍රීඩා හැකියාවෙන් මුදල් උපයන විට, එම සංගමය ක්‍රියා කරන්නේ රාජ්‍ය ආයතනයක අංගයක් ලෙස බවත්, එවැනි මුදල් “පෞද්ගලික අරමුදල්” ලෙස හැඳින්විය නොහැකි බවත් නියෝග විය.

මහජන සුභසිද්ධිය රහස්‍යභාවයට වඩා ඉහළින්: අධිකරණයේ පවතින නඩුවක් හේතුවෙන් තොරතුරු දිය නොහැකි බවට කළ ප්‍රකාශය ලෙහෙසියෙන්ම බැහැර කළ කොමිෂන් සභාව, පනතේ 5(4) වගන්තිය ප්‍රකාරව, කෝටි ගණනක රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත වීම පිළිබඳ සත්‍යය දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය ඕනෑම රහස්‍යභාවයකට වඩා බලවත් බව තීන්දු කළේය.

අපරාධ නඩු පවරන බවට දැඩි අනතුරු ඇඟවීමක්!

තොරතුරු කොමිෂන් සභාව විසින් රාජකීය විද්‍යාලයට දැඩි නියෝගයක් නිකුත් කරමින්, අදාළ සියලුම සහතික කළ ගිණුම් වාර්තා සහ මූල්‍ය ලේඛන මාසයක් ඇතුළත කිසිදු අයකිරීමකින් තොරව ඉල්ලුම්කරු වෙත ලබාදෙන ලෙස දැනුම් දී ඇත.

විශේෂයෙන්ම, මෙම නියෝගය පැහැර හරින්නේ නම්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 39 වගන්තිය යටතේ රාජකීය විද්‍යාලයේ තොරතුරු නිලධාරියාට සහ පාලනාධිකාරියට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ නඩු පවරන බවට කොමිෂන් සභාව අවසන් අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

ලංකාවේ සියලුම පාසල්වලට තීරණාත්මක පූර්වාදර්ශයක්

මෙම තීන්දුව කොළඹ රාජකීය විද්‍යාලයට පමණක් සීමා වූවක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බොහෝ පාසල්වල ක්‍රිකට්, රග්බි ඇතුළු මහා ක්‍රීඩා උත්සව සහ අරමුදල් රැස්කිරීම් සිදුකරන්නේ විගණනයකට ලක් නොවන ආදි ශිෂ්‍ය අනුකාරක සභා මගිනි. අධ්‍යාපන අමාත්‍යාංශය පවා කොමිෂන් සභාව හමුවේ පිළිගත්තේ ආදි ශිෂ්‍ය සංගම්වල මුදල් තමන් නියමිත පරිදි විගණනය නොකරන බවයි.

එහෙත්, තොරතුරු කොමිෂන් සභාවේ මෙම විප්ලවීය තීන්දුවත් සමග එම නීතිමය හිඩැස සම්පූර්ණයෙන්ම වැසී යයි.

මින් ඉදිරියට පාසල් ක්‍රීඩාවෙන් උපයන එකදු රුපියලක්වත් අඳුරේ තැබීමට කිසිදු සංගමයකට හැකියාවක් නැත. පාසල් දේපළ සහ ක්‍රීඩකයන්ගේ දහඩියෙන් උපයන සෑම සතයක්ම රාජ්‍ය සන්තකය වන අතර, ඒවායේ සම්පූර්ණ ගණන් හිලව් මහජනතාවට විවෘත විය යුතු බවට වූ පණිවුඩය මුළු රටටම හඬගා කියාපායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *