පැය අටේ වැඩ දිනය අහෝසි කරලා , හම්පුතුන්ට කම්කරුවන් පොත්තට සුරා කා හැකි නීතියක් ජාජබ /ජවිපෙ ආණ්ඩුව ගෙන්න යනවා -දුමින්ද නාගමුව

පැය අටේ වැඩ දිනය අහෝසි කරලා , හම්පුතුන්ට කම්කරුවන් පොත්තට සුරා කා හැකි නීතියක් ජාජබ /ජවිපෙ ආණ්ඩුව ගෙන්න යනවා -දුමින්ද නාගමුව

  

මේ රටේ කම්කරු නීතියට අදාළ අතිශයින් බරපතළ සංශෝධනයක් ගෙන එමට ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජන අරගල සනධානයේ විධායක සභික පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුම්න්ද නාගමුව පවසයි.

අණ්ඩුව මේ හදිසියේම කැබිනට් අනුමැතිය අරගෙන කරන්න යන සංශෝධනය මොකක් ද කියලා බැලුවම මේක මේ ආණ්ඩුව අලුතින් හොයාගෙන එන සංශෝධනයක් නොවන බවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ හිටපු කම්කරු ඇමති මනූෂ නානායක්කාරගේ කාලයේ රැගෙන ආ තනි කම්කරු නීතියක් බවත් ලංකාවේ සමස්ථ කම්කරු නීතියම කණපිට හරවමින් හාමුපුත්තුන්ට තව තවත් කම්කරුවන්ව සූරාකෑමට පුලුවන් ආකාරයට නීති රීති ලිහිල් කිිිිරීමට මොවුන් බලාපොරොත්තුව බවත් නමුත් මේ තනි කම්කරු නීතියට එල්ල වුණු විරෝධය හමුවේ සම්මත කරගන්න එවකට ආණ්ඩුවට පුලුවන් කමක් ලැබුණේ තැනි බව නාගමුව පෙන්වාදුන්නේ. 

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

එදා තනි කම්කරු නීතියට විරුද්ධව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව දැන් අද සූදානම් වෙනවා රනිල් මනූෂ හවුලේ ගෙනාව මේ මෙලෙච්ඡ කමකරු නීතිය නැවත සාකච්ඡාවට ගන්න. දැන් මේ වෙද්දිත් ඒ සඳහා කමිටුවක් පත් කරලා ඉවරයි. පසුගිය මැතිවරණ කිහිපයේම අපි දැක්කා මේ රටේ වැඩකරන ජනතාවගෙන් අති බහුතරයක් ඡන්දය ලබාදුන්නේ වර්තමාන ආණ්ඩුවට. ඒ ලබාගත්ත ඡන්දවල උණුසුම පහව යන්නත් කලින් ආණ්ඩුව සූදානම් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ටික පාවා දෙන්න. 

  මේ ගන්න හදන තනි කම්කරු නීතියේ දේශපාලන අරමුණ සම්බන්ධයි 2022 ඇති වුණු ආර්ථික අර්බුදයට. එතනින් එහාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් එක්ක මේ සංශෝධනය සම්බන්ධයි. අපි දන්නවා 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ සාමාන්‍ය ජනතාව නිසා නෙවෙයි. මේ රටේ ධනවත් ව්‍යාපාරිකයෝ සහ දේශපාලන තන්ත්‍රය තමයි ඒ අර්බුදයට වග කියන්න ඕන. ඔවුන් වංචනික විදිහට රට එන්න ඕන ඩොලර් බිලියන ගණන් පිටරටවල තියාගෙන හිටියා. ඒ වගේම ගෙවිය යුතු බදු රුපියල් බිලියන ගණන් නොගෙවා පැහැර හැරියා. කෝටි ගණන් මහාපරිමාණ වංචා දූෂණ මහජන මුදල් නාස්ති කිරීම්. මේවා නිසා තමයි ආර්ථික අර්බුදය ඇති වුනේ. මේවා එතකොට මේ රටේ කම්කරුවෝ, ගොවියෝ ධීවරයෝ ඇති කරපු අර්බුදයක් නෙවෙයි. මේ රටේ ජනතාව නියම වෙලාවට බදු ගෙව්වා. තමන්ගේ රැකියාවල කාර්‍යයන් හරියට කළා. 

           නමුත් අපි දන්නවා පසුගිය ආර්ථික අර්බුදය නිසා ධනපති පන්තියට ඔවුන්ගේ සමාගම්වලට ප්‍රාග්ධනයට කිසිඳු හානියක් වුණේ නෑ. පසුගිය කාලේ ලංකාවේ ප්‍රධාන සමාගම් 100 ලාභය බිලියන 600 – 700කින් වැඩි වෙලා. ඩොලරයේ මිල ඉහල යාමත් එක්ක මේ රටෙන් එළියට් ඇදපු ඩොලර්වල වටිනාකම ඉහල ගිහිල්ලා. අනිත් එක මේ සමාගම්වලින් ලබාගත් බැඳුම්කර සඳහා 33% දක්වා විශාල පොලියක් මහබැංකුව ගෙවනවා. 2022 ආර්ථික අර්බුදය මේ සමාගම් හිමියන්ට ඉල්ලමක් වෙලා තියෙන්නේ. එතකොට අර්බුදය නිසා හානිය වුණේ මේ රටේ වැඩකරන ජනතාවට. ඔවුන්ගේ වැටුප් කප්පාදු වුණා. රැකියා අහිමි වුණා. EPF ETF අරමුදල් කප්පාදු වුණා. භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී ගෙවිය යුතු බදු ඉහළ ගියා.  පරිප්පු සීනි පොත්පත් ටිකේ ඉඳලා සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ මේ වෙද්දි ඉහළ ගිහිල්ලා. නමුත් ඔවුන්ගේ වැටුප් වැඩිවෙලා නෑ. ඒ විතරක් නෙවෙයි වැටුපේ මුහුර්ත අගය පහත යාමත් එක්ක තව තවත් ඔවුන්ගේ වැටුප් ඛාදනය වීමක් තමයි වෙලා තියෙන්නේ. 

 මෙන්න මේ අර්බුදය අස්සේ හැකිලිච්ච කම්කරු ජනතාවගෙන් තව ටික සූරගන්න තමයි මනූෂලා තනි කම්කරු නීතිය අරගෙන ආවෙ. මුළු ලෝකෙම අද පිළිගන්න පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න මේ පනතේ යෝජනා ඉදිරිපත් වෙනවා. පැය අටේ වැඩ දිනය කම්කරු ජනතාව දිනාගත්තේ විශාල කැපකිරීම් මතින්. ඒ කැපකිරීම් සමරන මැයි දින රැළිය ගෝල්ෆෙස් එකේ උජාරුවෙන් පවත්වලා මාසයක් යන්නත් කලින් ආණ්ඩුව සූදානම් වෙනවා කම්කරුවන්ගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න. එතකොට හාම්පුත්තුන්ට දවසට පැය 15 – 20 වුණත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් බලයක් ලැබෙනවා. මේ වෙලාවේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක් වෙච්ච මහින්ද ජයසිංහ සහෝදරයාගෙන් අපි අහනවා කම්කරු ජනතාවගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන තනි කම්කරු නීතිය ගේන්න ඔබට එකඟ වුණේ කොහොමද කියලා. ලංකාවේ නීතිය අනුව කම්කරුවගේ වැඩ සතිය පැය 45යි. සතියේ දින පහේ පැය අටයි සෙනසුරාදා දිනයේ පැය පහයි මෙහෙම තමයි වැඩ සතිය සකස් වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව කරන්න යන සංශෝධනය එක්ක හාම්පුතාට පුලුවන් කමක් ලැබෙනවා මේ පැය 45 වැඩ සතිය දවස් 3ක්  4ක් දක්වා අඩු කරන්න. නව පනතට අනුව එක දිගට දවසට පැය 16ක් වැඩ ගන්න පුලුවන්. දැනට ලංකාවේ නීතිය අනුව අතිකාල පැය හතර එකතු කලත් උපරිම පැය 12යි වැඩ ගන්න පුලුවන්. මේ සංශෝධනය කලාට පස්සෙ සතියෙන් කරන වැඩේ කම්කරුවට දවස් තුනෙන් මැරීගෙන කරන්න වෙනවා. මෙතන තියෙන අපිට නොපෙනෙන කතාව තමයි අද කම්කරුවා පත්වෙලා තියෙන ආර්ථික අහේනිය එක්ක ඔහුව රැකියා දෙකක් කරන තැනට තල්ලු කරන්න මේකෙන් හැකියාව ලැබෙනවා. දැනට තියෙන කම්කරු නීතිය අනුව එක රැකියාවක් එක්ක විතරයි කම්කරුවට ගිවිසුම්ගත වෙන්න පුලුවන් කම ලැබුණේ. හැබැයි අලුත් නීතිය එක්ක කැමති තරමක් රැකියා ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාව ලබාදීලා තියනවා. එතකොට මේ නිතියේ යටි අරමුණ තමයි අර්ධ රැකියා දෙක තුන කරන්න වෙන තැනට මේ රටේ කම්කරු ජනතාව තල්ලු කිරීම. 

ආර්ථික අර්බුදය නිසා පිච්චිලා ඉන්න මිනිහගේ ඇඟට තව පැට්‍රල් ටිකක් ළං කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. දවසට පැය 16ක් වැඩ කරන්න් වෙනවා කියන්නේ ඒ මිනිහට එතනින් එහාට ජීවත් වෙන්න වෙලාවක් නෑ. අද මේ ක්‍රමය තමයි සිංගප්පූරුවේ චීනයේ ජපානයේ තියෙන්නේ . ඒ රටවල ජනතාවට විනෝද වෙන්න වෙලාවක් නෑ. දරුවෝ එක්ක කාලය ගත කරන්න විදිහක් නෑ. සමාජ අශ්‍රයට වෙලාවක් නෑ. ඒ සියල්ල අහිමිකරලා කර්මාන්තශාලා ඇතුළේ මරව මරව වැඩ ගන්නවා. ඒ තත්වය ලංකාවෙත් ඇති කරන්න තමයි රනිල්ලා තනි කම්කරු නීතිය ගෙනාවේ.

අනිත් එක අලුත් කමකරු නීතිය අනුව වෘත්තීය සමිති හදන්න තියෙන අවස්ථාවත් අහිමි කරලා. කලින් නීතියට අනුව කම්කරුවන් 7 දෙනෙක් ඉන්නවනං වෘත්තීය සමිතියක් හදන්න පුලුවන්. නමුත් තනි කම්කරු නීතියෙන් මේ ප්‍රමාණය 100 දක්වා වැඩි වෙනවා. එතකොට වෙන දේ තමයි සේවකයින් 100ට අඩු කර්මාන්ත ආයතනවල වෘත්තීය සමිති පිහිටුවන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. දැන් මෙහෙම 100ක් එකතුකරගෙන වෘත්තීය සමිතියක් පිහිටෙව්වත් ඔවුන්ට සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අවස්ථාවත් තනි කම්කරු නීතිය නිසා අහිමි වෙනවා. මේ පනතට අනුව ස්ට්‍රයික් එකක් කරනවනං දවස් 30කට කලින් හාම්පුතා දැනුවත් කරන්න ඕන. එතකොට හදිසියේවත් අසාධාරණ විදිහට කම්කරුවෙක් රැකියාවෙන් දොට්ට දැම්මොත් දවස් තිහක් බලාගෙන ඉන්න ඕන ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම නැත්තං වෙන්න යන දේ දිවැසින් දැකලා වෘත්තීය සමිතිය දවස් තිහකට කලින් අවසර අරගෙන ඉන්න ඕන. මේ වගේ තක්කඩි මෙලෙච්ඡ නීතියක් තමයි මේ ආණ්ඩුව දැන් කරගහගෙන යන්න සූදානම් වෙලා තියෙන්නේ.

        දැන් ආණ්ඩුව කියන්නේ රනිල් මනූෂ හවුලේ හාරපු මේ අසූචි වලේ වටින ඉල්ලම් තියනවා ඒවා පාදගන්න පුලුවන් කියලනේ.එහෙම කියලා තමයි අසූචි වලට අයියල මල්ලිලා ඔක්කොම බහින්න ලෑස්ති වෙන්නේ. නමුත් අපි කියනවා මේ ඔය අසූචි වලේ තියෙන්නේ අසූචි විතරයි. ඕකෙ මැණික් නෑ. ඒ නිසා ඔය වලට බැහැලා මුළු රටම ගඳ ගස්සන්න සූදානම් වෙන්න එපා. 

           ඒ වගේම තමයි ආණ්ඩුවට ඡන්දය දුන් කම්කරු ජනතාවට ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිවලට දැන් එළඹිලා තියෙන්නේ තමන්ගේ හෘද සාක්ෂිය අවධි කළ යුතු වෙලාව. ඔබ මේ ආණ්ඩුව එක්ක හිටගත්තෙ රනිල් මනූෂ හවුලේ ගෙනාව මෙලෙච්ඡ කම්කරු නීතිය සම්මත කරගන්න ද ? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අහගන්න. ආණ්ඩුව ගැන අපිට විස්වාසයි අපේ ලොකු අයියලා අපිට වැරද්දක් කරන්නෑ වගේ අදූරදර්ශී කතා කියලා හිත රවට්ටගන්න එපා. පැහැදිලව මේ ආණ්ඩුව යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුද කියන පාරේ. ඒ පාරට අවශ්‍ය සංශෝධන තමයි මේ තනි කම්කරු නීතියේ තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න ඔළුගෙඩි ගාණෙන් බහුතරය පෙන්නලා මේ පනත සම්මත කරගන්න ආණ්ඩුවට මහලොකු කාලයක් යන්නෙ නෑ. ඒ නිසා දැන්වත් මේ රටේ වැඩකරන ජනතාව අවධි විය යුතුයි. ඔබේ අයිතිවාසිකම් කප්පාදු වෙන්න කලින් ඊට එරෙහිව හඬ නගන්න. මේ මෙලෙච්ඡ තනිකම්කරු නීතිය ඉරාදමන තුරු අඛණ්ඩව සඨන් කරන්න එකතු වෙන්න කියන යෝජනාව අපි රටේ සමස්ථ කම්කරුවන්ට වෘත්තීය සමිති වලට සහ සියලු දෙනාට ඉදිරිපත් කරනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *