චෙම්මනිය – බටලන්ද ඝාතකයන් වහා අත්අඩංගුවට ගනු!
ප්‍රියන්ත සිල්වා විසිනි.
චෙම්මනි සමූහ මිනී වලෙන් මතු වූ ඇට සැකිලි හා බැඳුනු මිනිස් ඝාතනවලට යුක්තිය ඉටු කර ගැනීම සඳහා ‘යුක්තිය උදෙසා ජනතා බලය’ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය ජූලි 17 දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පවත්වන ලදි.මෙම ඝාතනවලට පමණක් නොව රට තුල සිදු වූ සියලුම අනීතික ඝාතනවලට විරෝධය මෙම උද්ඝෝෂණයේදී ප්‍රකාශ කෙරුණි.
‘උතුරේ දකුණේ සමූහ ඝාතනවලට එරෙහිව නැගී සිටිමු.’
‘චෙම්මනි ඝාතනවලට යුක්තිය ඉටු කරනු’ යන පාඨ සඳහන් පුවරු රැගත් විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.

’63ක් මිනී අස්ථි
මේ වන විට ගොඩ ගහලා
දහ දෙනෙක්ම පොඩි එවුන්
චෙම්මනියෙන් ගොඩ දාලා.
බුදුන් වැඩිය ධර්ම දීපේ
රට පුරාම මිනි වලවල්.’
යන සටන් පාඨ මේ විරෝධයේදී හඬ නැගුණි.
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ සත්‍යවේල් පියතුමා, “යාපනය හමුදා පාලනයට යටත් වුනාට පසුවත් බරපතල අපරාධ සිදු වුනා.ඒ සිදුවීම් එම ප්‍රදේශ රාජ්‍ය පාලනය යටතේ තිබියදී සිදු වූ දේවල්.”යනුවෙන් කියා සිටියේය.එහිදී ලැබුණු සාක්ෂි අනුව අධිකරණ ක්‍රියා ගණනාවක් සිදු වුනා. නමුත් අදටත් සාධාරණයක් ,යුක්තියක් මෙම අපරාධ සම්බන්ධයෙන් සිදු වී නැති බවද ඔහු ප්‍රකාශ කළේය.
වර්ථමානයේ දකුණේ සිදු වූ ඝාතන ගැන සොයා බැලීමටත් රජය පසුබට වෙනවා.ඒ අනුව උතුරේ ඝාතනවලට සාධාරණයක් ලැබේද යන්න බරපතල සැක මතු කරන කාරණයක් වී තිබේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ළහිරු වීරසේකර සහෝදරයා මාධ්‍යයට කියා සිටියේය.රටේ සිදු කරන ලද සියලු ඝාතනවලට යුක්තිය ඉටු කර ගැනීමට ජාති ආගම් භේදයකින් තොරව එක් විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා කියා සිටියේ චෙම්මනි සමූහ මිනී වළේ තුන් වෙනි අදියරේ කැනීම් කටයුතු අනුව ළදරු වියේ පසුවන දරුවන්ගේ ඇට සැකිලි හමු වී තිබෙන බවයි.මෙවැනි ශෝචනීය තත්ත්වයක් ඇතිව තිබියදී අපරාධ පරීක්ෂණ කණ්ඩායම් හා ආයතන කොහෙද සිටියේ කියන ප්‍රශ්නය මතුවන බව විමසා සිටියේය.මෙම රජයට අද ඇති වී තිබෙන තත්ත්වයෙන් මගහැර සිටීමේ හැකියාවක් නැති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා ද අදහස් දැක්වූහ.මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අදහස් දැක්වීමේදී පිරිසේ සිටි ඇතමුන්ගෙන් බාධා කිරීමක් මතු විය.ජනතාව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයෙන් මන්ත්‍රීවරයා දේශපාලන වාසි සහගත බවක් ලබා ගැනීමට වෑයම් කරන බව එම අවස්ථාවේ සිටි ඇතමුන්ගේ විවේචනයට ලක් විය.

චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් පමණක් නොව සිදු වූ සියලු ඝාතන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පැවැත්විය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීමට මෙහිදී උද්ඝෝෂකයෝ සූදානම් වූහ.මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කිරීමට පා ගමනින් යෑමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමග විවාදාත්මක හා ගැටුම්කාරී තත්ත්වයක් මතු විය.පසු අවස්ථාවක ඊට අවශ්‍ය කටයුතු සකස් කර දෙන බවට ඇති වූ අදහස් මත තත්ත්වය සමතයකට පත් වුණි.
මෙම උද්ඝෝෂණයට දේශපාලන පක්ෂ,ආගමික සංවිධාන,බහුජන සංවිධාන හා වෘත්තීය සමිති සාමාජිකයෝ සහභාගී වූහ.උද්ඝෝෂණයට පෙර ‘චෙම්මනි සමූහ ඝාතනයට එරෙහි වෙමු .’යන මාතෘකාව යටතේ වූ අත් පත්‍රිකා බෙදා හැරීමක් සිදු කෙරුණි.චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් පමණක් නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනීතික ඝාතන සම්බන්ධයෙන් ජනතාව එක්රැස් විය යුතු යුතු බව මෙහිදී සාකච්ඡාවට ලක් විය.මේ උද්ඝෝෂණයට විවිධ ජාතික හා ආගමික පිරිස් මිනිස් අයිතිය සඳහා එක්ව නැගී සිටීම විශේෂයෙන් දැකගත හැකි වූ ලක්ෂණයකි.
