ජනාධිපති අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහව අත්අඩංගුවට ගත්තේ ඉන්දියන් අවශ්‍යතාවයක් මත ද?

0
c18da4f5-0381-45cc-8ef4-f907726fcaf5

සෑම් ධර්මපාල විසිනි‍.

පසුගියදා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ සිටියදී කරනු ලැබූ මහජන මුදල් අවභාවිතාවක් පිළිබඳව චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වී දවස් හතරකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවිය. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු සිටිය යුතු කාලය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ගෙවා දැමීමට ඔහු සමත් විය. ඒ ඔහුගේ සෞඛ්‍ය අවදානම් තත්ත්වයක තිබූ බව පවසමිනි.

ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුළ දූෂණයට වංචාවට සහ පුද්ගල ඝාතනයන්ට අනේක විද චෝදනා ලබා සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පසක සිටියදී රනිල් වික්‍රමසිංහට හදිස්සියේ මේ ඉරණමට මුහුණ පාන්නට සිදුවූයේ ඇයි?.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාලන බලය හොබවන ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ NPP රජයට සහ පාක්ෂිකයින්ට අනුව රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම පසුගිය කාලයේ මහජන මුදල් වංචා කරන ලද දූෂිතයන්ට එරෙහිව නව රජය ගන්නා ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයකි. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂ බලවේගයන්ට අනුව රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට පත්වීම විපක්ෂය මර්දනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයකි. ඔවුන් මෙය දකින්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදයක් ලෙසයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවේ හිතවාදීන් සහ විපක්ෂයේ හිතවාදීන් අතර ද්වන්ධ සටනක් ඇවිලී ඇත.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීමේ සැබෑ හේතුව මේ කිසිවක් නොව පසුගිය කාලය තුළ ඉන්දීය අභ්‍යන්තර දේශපාලනයට අතපෙවීමට උත්සාහ කිරීමේ ප්‍රතිවිපාකයක් බව තතු දත් ඉන්දීය විශ්ලේෂකයන්ගේ අදහසයි.
2021 දී පමණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉන්දියාවට පත්කර යවන ලද ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා වූ මිලින්ද මොරගොඩ, පසුගිය රජයේ අමාත්‍යවරයෙකු වූ අලි සබ්‍රි සහ රනිල් වික්‍රමසිංහ මෙකී ඉන්දීය දේශපාලනයේ අභ්‍යන්තරයට අතපොවමින් සිටීම ඉන්දීය බලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.

2009 සිට ඉන්දීය ජාතික කොංග්‍රසයෙන් ලෝක් සභාව නියෝජනය කරනු ලබන කේරළයේ තිරුවානන්තපුරම් මන්ත්‍රීවරයා වූ ශෂී තරූර් ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා කිරීමේ මෙහෙයුමට රනිල් වික්‍රමසිංහ, මිලින්ද මොරගොඩ සහ අලි සබ්‍රි ඇතුළු වික්‍රමසිංහගේ හිතවත් දේශපාලකයින් සහ රාජතාන්ත්‍රික පිරිසක් අතගසා ඇත.

ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක සහ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායකයා වූ රාහුල් ගාන්ධි වෙනුවට ඉදිරි මැතිවරණයකදී පාලක භාරතීය ජනතා පක්ෂයේ අගමැති නරේන්ද්‍ර මෝදිට හෝ එම කඳවුරේ අපේක්ෂකයාට එරෙහිව විපක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතු බවට ඉන්දීය විපක්ෂය තුළ මතයක් ඇත. බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ බෙංගාලයේ මහ ඇමතිනී මමතා බෙනර්ජී ඒ සඳහා වඩාත් සුදුසු බවයි. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ඒ සඳහා ප්‍රසිද්ධ රාජ්‍යතාන්ත්‍රිකයෙක් සහ ග්‍රන්ථ කතෘවරයෙකු වන කොංග්‍රසයේ ලෝක් සභා මන්ත්‍රී ශෂී තරූර් සුදුසු බවයි.
ඒ අනුව යමින් මේ වන විටත් ශෂි තරූර් විසින් ඊලග ඉන්දීය අගමැතිවරයා වීමේ මෙහෙයුම දඅරඹා ඇති අතර එම මෙහෙයුමේ සුවිශේෂ කාර්යයක් මිලින්ද මොරගොඩට සහ රනිල් වික්‍රමසිංහට පවරා ඇත. මෙහිදී රනිල් වික්‍රමසිංහ සහ මිලින්ද මොරගොඩ සතු කලාපීය සහ අන්තර්ජාතික සබඳතාවයන් උපයෝගී කර ගැනීමට ශෂී තරූර් බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා ශෂී තරූර්, රනිල් වික්‍රමසිංහ සහ අලි සබ්රි අතර කොළඹ හෝටලයකදී පැවතුනි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමටද ඔහුන් අමතක නොකළෝය. එකී සාකච්චාවෙන් පසු දින ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහට කැඳවීමක් නිකුත් වී පසුගිය අගෝස්තු 21 දා අත් අඩංගුවට පත්විය.

මෙසේ අනපේක්ෂිත ලෙස රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම පිටුපස බලගතු හස්තයක් තිබේද?. වර්තමාන ඉන්දියාවේ මෝදි රජය සහ ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායක රජය අතර ඉතා ඉතා දැඩි සමීප සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ විපක්ෂයේ දේශපාලකයන් ඉන්දීය පාලක පක්ෂයේ අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කිරීමට යෑම කිසිසේත්ම මෝදි රජය ඉවසන්නේ නැත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ හිතවාදීන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ ඇතිවී ඇති ශක්තිමත් සම්බන්ධතාවය පළුදු කිරීමටද උත්සහා කරති. පසුගිය දා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දැරුවේ එවැනි ප්‍රයත්නයකි. කෙසේ නමුත් එක වර්ගයේ දේශීය විදේශීය කුරුල්ලන් එක අත්තේ වසමින් සිටින බව පැහැදිලිය.

ශෂී තරූර් ඉන්දියාවේ විවාද සම්පන්න දේශපාලකයෙකි. කලක් කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස කටයුතු කළ ඔහු 2006 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ධූරයට පවා තරගවැදී දෙවන ස්ථානයට පත් විය. 2014 දී ඔහුගේ තෙවන බිරිද ඉන්දු කැනේඩියානු ජාතික සුනන්දා පුෂ්කර් දිල්ලියේ හෝටලයක් තුළ අභිරහස් ලෙස මිය යෑමත් සමග ශෂී තරූර්ගේ නම වඩාත් කතාබහට ලක් වූ අතර විශේෂයෙන් ඉන්දීය දේශපාලනයේ සුවිශේෂ භූමිකාවක් හිමි රාෂ්ඨීය ස්වයංසේවක සංගමය (Rashtriya Swayamsevak Sangh)

ප්‍රමුඛ ඉන්දියානු ජාතිකවාදීන් ශෂී තරූර් බටහිර ලැදි කුමන්ත්‍රණකරුවෙක් ලෙස හඳුන්වති. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතකරණය සහ ඉන්දියාව පිලිබදව ප්‍රසිද්ධ ග්‍රන්ථ රාශියක් ඔහු විසින් රචනා කොට ඇත. එමෙන්ම මිලින්ද මොරගොඩද බටහිර කුමන්ත්‍රණකරුවෙක් ලෙස ලංකාවේ ජාතිකවාදීන්ගේ චෝදනාවට ලක් වූ පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සංවිධානයක් තුළින් විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකු ලෙසෙ මිලින්ද මොරගොඩ ඉදිරිපත් කිරීමට පිරිසක් මේ වන විට පිඹුරු පත් සකස් කරමින් සිටිති. ඒ අතරතුර මිලින්ද මොරගොඩගේ අරමුණ වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ ආසියාතික සංවිධානයක ඉහළ පුටුවක් රනිල් වික්‍රමසිංහට ලබාගැනීමට සහයවීමයි. ඒ සදහා ශෂී තරූර්ගේ සහයෝගය මිලින්ද මොරගොඩ වෙත ලැබෙන බවට සැකයක් නැත. නමුත් මේවන විට මහජන මුදල් අවභාවිතාවක් පිළිබඳව චෝදනා ලබා ශ්‍රී ලංකාවේ අධිකරණයේ ඇප මත සිටින පුද්ගලයකුට එවැනි රාජ්‍යතාන්තික තනතුරක් ලබා ගැනීමට හැකිදැයි සැක සහිතය.

රනිල් වික්‍රමසිංහ සූර දේශපාලකයෙකු වශයෙන් ලංකාවේ ප්‍රසිද්ධය. ඒ ඔහුගේ දේශපාලන ජීවිතය තුළ කිසිදු දිනක ළඟා නොහැකිව තිබූ ලංකාවේ ජනාධිපති ධූරය කෙටි කාලයකට හෝ ඔහුගේ හිස මතට කඩා වැටුණු හෙයිනි. කොයි මොහොතේ හෝ ඔහු ලංකාවේ නැවත ජනාධිපතිවරයා වන බවට ඔහුගේ සමීපතමයන් විශ්වාස කරති. ලංකාවේ වර්තමාන ආණ්ඩුව බිඳ වැටෙනකල් ඔහුන් ඇඟිලි ගණන් කරති. ඉතිහාසය තුළ එක වගේ දෙකක් සිදු නොවෙනු ඇත. අහම්බෙන් හෝ එවැන්නක් නැවත සිදුවුවහොත් එය මෝඩකමක් හෝ ඛේදවාචකයක් වනු ඇත.
කොට්ටෝරුවා හැම ගසටම කොටන්න ගිය කළ හොට පටල ගන්නා වූ අවස්ථාවක් එනු ඇත. රනිල් වික්‍රමසිංහ අද මේ ගෙවන්නේ ලොකු අයියාගේ සීමාව පැන හොට පටලවා ගත් අනුවේදනීය මොහොතකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *