නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල තර්ජනයක් ! – නීතිඥ සංගමය පවසයි
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ඊයේ (13) දා සවස 5.00ට පමන සිදුකළ වෙඩි තැබීමෙන් නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිද වන වෙල්ලාල ආරච්චිගේ නිසංසලා (41) යන අය මෝටර් රථය තුළම මිය ගොස් සිටි බව තලංගම පොලිසිය පවසයි.
අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි සුපිරි වැළඳ සැලක් ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදු කර තිබේ.
මෝටර් රථයකින් පැමිනි පිරිසක් ටී 56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාර දහයක් පමන එල්ල කර වෙඩික්කරුවන් සිල්වර් පැහැති Blue Bird වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තලංගම පොලිසිය කණ්ඩායම් කිපයක් යොදා පරික්ෂණ ආරම්භ කර තිබේ.
නීතිඥ සංගමය ප්‍රහාරය හෙළා දැක මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී.

පින්තුර දෙකම අන්තර් ජාලයෙන් ගන්නා ලදී.