මෙට්‍රොපොලිටන් විලාසිතා උලෙළ දුටු යමෙකුට ගිලටීනය ගැන ආදර හැඟීමක් පහල වන්නේ කුමක් නිසාද?

0
image (3)
ඩේව්ඩ් නොතර් විසිනි

[මෙය What is it about the Met fashion gala that leads one to think fondly of the guillotine? මැයෙන් 2026 ‌මැයි 06 වැනි දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

“අතථ්‍යතාවේ ලාදුරු රෝගය සහභාගි වූ සෑම මනුසතෙක් ම විරූපී භාවයට පත්  කලේය…” [දෙනුවර අන්දරය]

ප්‍රංශ මහා විප්ලවය එලිපත්තේ දී ප්‍රංශ වංශාධිපතීන් ගැන චාල්ස් ඩිකන්ස් එසේ ලිවී ය. ඇමරිකානු කතිපයාධිපතීන් ද ඔවුන්ගේ කුලියට ගත් විනෝදාස්වාදය සපයන්නන් ද වාර්ෂික ව රැස් වී, තමන් දෙස ම බලා ගෙන ප්‍රීතිය පල කරන උත්සවයක් වූ,  නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ 2026 විලාසිතා උලෙලට (මෙට් ගාලා) සහභාගි වූවන්ටද ඩිකන්ස් ගේ එම වචන එදාට වඩා අඩු නොවූ බලයකින් අදාල වේ. මෙම වසරේ උත්සවය ඇමසොන් ව්‍යාපාරයේ ආරම්භකයා ද ලෝකයේ තුන්වන ලොකුම ධනවතාද වොෂිංටන් පෝස්ට් පුවත්පතේ හිමිකරු සහ එහි දේශපාලන බලගන්වන්නා ද වූ ජෙෆ් බේසෝස් සහ ඔහුගේ බිරිය වන ලෝරන් සන්චේස් බේසෝස් විසින් සම්පූර්නයෙන්ම මිලට ගෙන පූර්න මූල්‍ය අනුග්‍රහය දරා බේසෝස් යුවලේ සභාපතිත්වය යටතේ පවත්වන ලදී.

ඩොලර් මිලියන දහයක චෙක්පතක් – එය ඩොලර්  මිලියන 223 හා 279 ක් අතර වෙතැයි තක්සේරු කරන ලද ධනස්කන්ධයක සංඛ්‍යා රවුම් කිරීමේදී නොතකා හරින ගනනකි – ඔවුන් දෙදෙනාට උලෙලේ ගෞරවනීය සභාපතිත්වය ලබා දුන්නේ ය. බේසෝස් මෙයාකාරයෙන් වියදම් කරන සෑම ඩොලරයක් ම උපයන ලද්දේ ඇමසොන් භාන්ඩ බෙදාහරින ගුදම්වල මුත්‍රා කිරීමට යාමටවත් කාලය නැති ව ප්ලාස්ටික් බෝතල් වලට මුත්‍රා කරමින් ඉලක්ක ජය ගැනීමට වෙහෙසෙන කම්කරුවන්ගේ ශ්‍රමයෙන් හා සමහර කම්කරුවන්ගේ කැඩුනු කොඳු නාරටි වලිනි. ඇතුලේ විලාසිතා සංදර්ශනය පැවැත්වෙද්දී, එලියේ විරෝධතාකරුවන් “බේසෝස්ගේ මෙට් ගාලාව වර්ජනය කරනු” යන සටන් පාඨය යටතේ තම විරෝධය එහි සිට මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේ පිහිටි බේසෝස්ගේ ඩොලර් මිලියන අසූවේ මාලිගාව දක්වා ප්‍රක්ෂේපනය කලහ. ශාලාව ඇතුලේ දර්පන මත දිස්වන තමන්ගේ ම ප්‍රතිරූප තුල ගැලී සිටි සහභාගිවන්නන් තම ධනස්කන්ධ නිෂ්පාදනය කිරීමට හේතු කාරක වූ තත්වයන් ම එලියේ පැවැත්වෙන විරෝධතා වලට ද උපත දුන් බව සලකා නොබලන්නට ඇති බව පෙනේ.

මෙට්‍රොපොලිටන් විලාසිතා උලෙළ දුටු යමෙකුට ගිලටීනය ගැන ආදර හැඟීමක් පහල වන්නේ කුමක් නිසාද?
ලෝරේන් සැන්චෙස් බෙසෝස් සහ ජෙෆ් බෙසෝස් 2026 මාර්තු 15 වැනි දා වැනිටි ෆෙයාර් ඔස්කාර් සාදයේ දී [AP Photo]

අශිෂ්ඨත්වය (vulgarity) යන වචනය, එදා මෙට් කෞතුකාගාරයේ පඩි පෙල මත දී දිග හැරුනු දෙය විස්තර කිරීම සඳහා මොලොක් වැඩි ය. 2026 විලාසිතා උලෙල ස්වයං පරිහාසයේ කොතෙක් දුර ගිය ජරාජීර්නත්වයේ සංදර්ශනයක්ද යත්, යමෙකුට සිනාසෙනවාද, ඔක්කාරය කරනවාද එසේත් නැත්නම් ආචාර්ය ගිලටින් නිෂ්පාදනය කල ගෙල සිඳින උපකරනයේ ක්‍රියාකාරී තත්වයේ පවතින අනුරුවක් ඊ-බේ මගින් ඔන් ලයින් ඇනවුම් කරනවාද යන්න තීරනය කරගත නොහැකි ය.

සුප්‍රකට හාස්‍යෝත්පාදිකාවක වූ ඩොරති පාකර් වරක් සිනා මුහුනකින් තොර ව මෙසේ කීවාය : “දෙවියන් වහන්සේ මුදල් ගැන සිතන ආකාරය ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්, උන් වහන්සේ ඒවා දී ඇති උදවිය දෙස බලන්න.”

පාකර්ගේ කියමන ඔප්පු කරන උදාහරන කීපයක් මෙන්න:

රියැලිටි ටෙලිවිෂන් ව්‍යාපාරයක උරුමක්කාරියක් එහි පැමිනියේ බැරෝක් කැටයමින් සැරසූ මුතු කැට 10,000 ක් සවි කොට මාලු කොරල 7,000 ක් අතින් එම්බ්‍රොයිඩර් කල බැලුමක් සේ පිම්ඹුනු සැටින් සායක් හා තනපුඩු මූර්ති කල ශියාපැරෙලි සන්නාමයේ ඇඟට ඇලුනු රබර් බොඩි සූට් එකක් හැඳගෙන ය. 

එම ඇඳුම සකස් කල විලාසිතා නිවසම පිලිගත් ආකාරයට, එය සෑදීමට එම්බ්‍රොයිඩර් පැය 11,000 ක් අවශ්‍ය විය. එක සන්ධ්‍යා සාදයකට ඇඳීමෙන් පසු ඉවත දමන එම ඇඳුමට කම්කරු කාන්තාවකගේ අවුරුදු පහක පූර්න කාලීන ශ්‍රම කාලයට සමාන කාලයක් යොදා ඇත. ඇගේ වැඩිමහල් සොහොයුරිය එහි පෙනී සිටියේ බ්‍රිතාන්‍ය පොප් සංගීතකරුවකුගේ සංකල්පයකට අනුව සකස් කල ශෝන් පෝල් ගෝතියර්ගේ ක්‍රමයේ කේතුක තනපට සහිත, සැබෑ වාහන සැරසිලි අංගනයකදී වාත්තු කල ලෝමුවා උර කවචයකින් සැරසීගෙනය.

මිචිගන්හි උපන්, මීට වඩා කරුනු කාරනා තේරුම් ගත හැකි වයසක සිටින පොප් ගායිකාවක් පඩි පෙල නැග්ගේ, පිත්තල හොරනෑවක් අතින් ගෙන, ඔසොවා ගැනීමට ඇස් බැඳ ගත් ස්ත්‍රීන් හත් දෙනෙකු අවශ්‍ය වූ සේන්ට් ලෝරන්ට් විලාසිතා නිවස විසින් සකස්කල ඇඳුමකින් හා නිරීක්ෂකයන් නැවක කුඹ ගසකට සමාන කල හිස් ආවරනයකින් සැරසී ගෙනය. විලාසිතා ලෝකය ආවරනය කරන මාධ්‍යකරුවන් මොවුන්ගේ මේ ව්‍යාජ වංශවත් මවාපෑම් සපුරා අනුමත කරමින් එම කාන්තාවන් හත් දෙනා ඇගේ “ආවතේවකාරියන්” හැටියට විස්තර කලහ.

උත්සවයේ ප්‍රධාන සත්කාරිකාව වූ,  ගිය වසරේ තම සැමියාගේ නිස්සාර ගර්වයේ සංකේතයක් වූ රොකට්ටුවේ නැගී විශ්වයේ මායිමට යාමට මිනිත්තු 11 ක චාරිකාවකට මුදල් ගෙවූ  කෝටිපතියාගේ බිරිඳ, 19 වන සියවසේ ජෝන් සාජන්ට්ගේ ආන්දෝලනාත්මක චිත්‍රයක් වූ ‘මැඩම් එක්ස්’ හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටියා ය.

බාල රුචිකත්වය, මොලයක් නැතිකම සමග තරඟ කරයි.  පටි දමා රැඳවූ කූඩුවක් පශ්චාත් භාගයේ එල්ලා ගත් නිලියක්. ඇවිද ගැනීමට පවා අමාරු මූර්ති ඇටවුමක හිරවූ ගායිකාවක්. කොන්ඩි නාස්ට් ආයතනයම තම සඟරාවක සඳහන් කල පරිදි ස්ටුඩියෝ ශ්‍රම පැය 761 ක් වැය කල ශේනල් සන්නාමයේ සායක්.

උත්සවයේ නිල තේමාව වූයේ “කොස්ටියුම් ආට්” යන්නයි. නමුත් සැබෑ වශයෙන් එහි තේමාව මුදල් ය. ධනපතියන්ට පැය හතරක විනෝදාස්වාදය සැපයීම සඳහා ඔවුන් වැය කිරීමට සූදානම් ශ්‍රම පැය ගනනට සීමාවක් නොමැත යන්න එහි ක්‍රියාකාරී සිද්ධාන්තය විය. 

2026 ගාලා උලෙලේ ටිකට්පතක මිල ඩොලර් 100,000 කි. ගිය වසරේ එය ඩොලර් 75,000 ක් විය. දහ දෙනෙකුගේ මේසයක් ඩොලර් 350,000 කි. 400 ක් පමන වූ සහභාගි වූවන්, ටිකට් සඳහා පමනක් ඩොලර් මිලියන 42 ක් වැය කලහ. මෙය කෞතුකාගාරයේ අරමුදල් සම්පාදනයේ වාර්තාවක් බව ඔවුහු සඳහන් කරති. රියානාගේ 2015 ගුඕ පෙයි ගවුම නිෂ්පාදනය කිරීමට ඩොලර් මිලියන හතරක් වැය විය. එක් ශියාපරෙලි ගවුමක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ශ්‍රම පැය සංඛ්‍යාව නිව්යෝක් නුවර රජයේ පාසැලක ගුරුවරියකගේ වර්ෂ තුනහමාරක ශ්‍රම කාලයට වඩා වැඩි ය. එම ගවුම පැය හතරක් ඇඟලා සිට ඡායාරූප වලට පෙනී සිට පසුව එය නිෂ්පාදනය කල ස්ටුඩියෝවටම යවනු ලැබේ. පාලක පන්තිය කලාවට අනුග්‍රහය දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.

ජන මාධ්‍ය, සමස්ත රංගනයම රාජ්‍ය උත්සවයක බැරෑරුම්භාවයෙන් සැලකිල්ලට ගත්තේ ය. 

නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, වෝග් සඟරාව, විවිධ ගුවන්විදුලි ජාලා සහ ඒවායේ අන්තර්ජාල ශාඛා නාලිකා, සජීවී රතු පලස් වාර්තාකරනය ද බැරෑරුම් මුහුනු ඇති මිනිසුන් වාඩි වී සිටින සාකච්ඡා මන්ඩප ද සංවිධානය කරමින් පසුගිය වර්ෂවල උත්සව සමග සංසන්දනය කරමින්, මෙහි කිසියම් සංස්කෘතිකමය වැදගත්කමක් ඇත්තාක් මෙන්, අමතර කරුනු සපයමින් උත්සවයට අක්කර ගනනක මාධ්‍ය ආවරනය ලබා දුන්හ. 

විලාසිතා සඟරා කතුවරු, මනේ හෝ රිනෝ (Manet and Renoir) වැනි සුප්‍රකට සිතුවම්කරුවන්ගේ නිර්මාන ගැන සාකච්ඡා කරන විට යොදා ගන්නා වචන පාවිච්චි කරමින් ඇඟට ඇලුන රබර් සූට් ගැන සාකච්ඡා කලහ.

විල්ලූද මායිම් ලනුවෙන් පිටත තත්වය ද ඉන් ඇතුලත තත්වයට වඩා වෙනස් නොවී ය.

රබර් බොඩි සූට් එක හා ආම්පන්න, ‘ආවතේව කාරියන් සිව්දෙනකු’ විසින් සකස් කරන අතරතුරේ නිව්‍ යෝක් නගරයේ අවතැන් මධ්‍යස්ථානයේ රැඳවියන් 100,000 ඉක්ම වූ සංඛ්‍යාවක් සෙවන ලැබූහ.

බේසෝස් මිලියන දහයේ චෙක්පත ලියද්දී ඇමසොන් ගුදම්වල කම්කරුවන් බොහෝ ගනනක් මහන්සිය නිසා  සිහි නැතිව ඇද වැටෙමින් සිටියහ. (මෙය මුලු රටේ ම ඔන්-ලයින් භාන්ඩ බෙදා හරින කර්මාන්තයේ හදිසි අනතුරුවලට වැඩි සියයට ගනනකි).

ශියාපරෙලි ස්ටුඩියෝව තුල විලාසිතා ගවුම් කැපෙද්දී, එක්සත් ජනපද ආන්ඩුවට යුද වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 1.5 ක් (බිලියන 1500 ක්) තිබුනත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, සෞඛ්‍ය සේවා සහ සමාජ ආරක්ෂනය සඳහා මුදල් නැතැයි ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශයට පත් කලේ ය. 

මේ ලෝක දෙක අතර සම්බන්ධය ඉතා ම සැබෑ එකකි. මෙට් ගාලාවේ දී ප්‍රදර්ශනය කෙරුනු ධනය, දශක හතරක් තිස්සේ ඉහල සිට දියත් කල පන්ති යුද්ධය තුලින් කම්කරු පන්තියෙන් සූරා ගත් ධනයයි.

1870 වසරේ පිහිටුවනු ලැබූ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය ඊජිප්තුවේ ඩෙන්ඩූර් දේවස්ථානයේ කෞතුක වස්තූන් ද රෙම්බ්‍රාන්ට්, වර්මියර් හා එල් ග්‍රෙකෝ වැනි ලෝක ප්‍රකට කලාකරුවන්ගේ නිර්මාන ද ඇතුලු පන්දහස් වසරක මානව කලා නිර්මානයේ අග්‍ර ඵලයේ භාරකරුවා ය; දැන් ඒවා වේදිකා සැරසිලි බවට පත්කර තිබේ. එහි එදිනෙදා නඩත්තුව සඳහා අවශ්‍යවන මුදලින් රජයෙන් ලැබෙන්නේ සමහරවිට සියයට 8 සිට 10 අතර ප්‍රමානයක් පමනකි. හිඟ මුදල සපයන්නේ හරියට ම ගිය සඳුදා එහි පැමින තම ජරාජීර්නත්වය ප්‍රදර්ශනය කල ආධාර කරුවන් විසිනි.

ඔව්, ඊලඟට බේසෝස් සිටී: ඔහුගේ වොෂින්ටන් පෝස්ට් පත්තරය ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී තන්ත්‍රයේත් ජන සංහාරක යුද්ධයේත් හොරනෑව වශයෙන් අද ක්‍රියා කරමින් සිටී.

මේ නවීන ඔසිමැන්ඩියාස්, (ඔසිමැන්ඩියාස් යනු ක්‍රි.පූ  12 වන සියවසේදී තම දැවැන්ත පිලිරුවක් තැන වූ ෆාරාවෝ රජෙකුගේ නම යොදා ගෙන පර්සි බෂෙවිස් ෂෙලී කවියා විසින් නිර්මානය කල ලුහුඬු පද්‍යයකි – පරිවර්තක) මහ හඬින් ලොවට මුර ගා කියන්නේ “මම කෝටිපතියන්ගේත් කෝටිපතියා වෙමි; සුලු මිනිසුනි, මගේ නිර්මාන දෙස ඇස් හැර බලනු, …බලා වමනය කරනු!’

උත්සවයට සමගාමී ව පැවැත්වුන ව්‍යාජ විරෝධතාව ද උත්සවය සේ ම ජුගුප්සාජනකය.

නගරයේ වීදිවල තිබෙන වලවල් තාර දමා පිරවීම අරමුනු කරගත් සමාජවාදී යුටෝපියාවක් සමග නිව්යෝක් නුවරට අලුතින් බලයට පත් වූ නගරාධිපති වනුයේ සොරාන් මම්දානි ය. ඔහු කායිකව එහි නොපැමිනිය ද එය හෙලා දුටුවේ නැත.

ඔහු, තමාට පැමිනිය නොහැක්කේ “මුදල් තත්වය” නිසා යයි ප්‍රකාශ කලේ හරියට එම උත්සවය තමන් වෙනස් කරනවා යයි කියමින් බලයට පැමිනි සමාජ පර්යායේ යාගයක් නොව, ගනන් වැඩි ඉහල පෙලේ අවන්හලක භෝජන සංග්‍රහයක් හැටියට සලකමිනි.

කුහක විරෝධතාවයේ කලාව අගතැනට ගෙනගිය ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටේස් (ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරිය), පසුගිය වසරේ උත්සවයට සහභාගි වූයේ “ධනපතියන් මත බදු පනවනු” යන සටන් පාඨය ලියූ ගවුමක් ඇඳගෙනය. එය, මාරි ඇන්ටනට් රැජිනගේ බොජුන් මේසයේ වාඩි වී, 14 වන ලුවී ගේ වර්සේයි තන්ත්‍රය විවේචනය කිරීමට උත්සාහ කිරීමක් වැන්න.

මේ වසරේ  සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් බේසෝස් ගැන නලල රැලි ගැන් වූ ප්‍රකාශ නිකුත් කල ද ඔවුහු ඊට සහභාගි වූහ; ඡායාරූප වලට මඳ සිනා පෙන්වූහ; ආහාර අනුභව කලහ; ඡායාරූප සමාජ මාධ්‍ය වල බෙදා ගත්හ. මෙට් ගාලා උත්සවය වනාහී බිලියනපතියන්ගේ පාලන තන්ත්‍රය අලංකාරවත් එකකැයි ද  ඔවුන්ට ඒ සඳහා සාධාරන අයිතියක් ඇතැයි ද පෙන්වා සිටීම අරමුනු කරගත් යාග හෝමයකි.  

මේ පන්තිය තවමත් චතුර ලෙස කතාකරන එක ම භාෂාවෙන්, මෙම උත්සවය සන්නිවේදනය කලේ නගරයේ අති මහත් බහුතර ජනතාව ගැන ඔවුන්ට තිබෙන පිලිකුල පමනි.

ගිලටීනය ගැන අප සඳහන් කලේ හාස්‍යය සඳහා පමනකි. එසේ වෙතත්, මෙම ලිපියේ මුල දී ගිලටීනය ගැන අසන ප්‍රශ්නය සැබෑ එකකි.

මෙම කැතකුනු වැකුන ධනපතියන්ට තමන්ගේ හිස්ගෙඩි තමන් ලඟම තබා ගත හැක; නමුත් ධනස්කන්ධය නොවේ. මෙගා මිලියනපතියන් සහ බිලියනපතියන් ගේ ධනය සමාජ සන්තක කිරීම සමාජමය අවශ්‍යතාවකි. එක්සත් ජනපදය පාලනය කරන්නේ විලි ලැජ්ජාවක් නැතිකමින් සේ ම මෲගත්වයෙන් ද සැදි කතිපයාධිකාරී පාලක පෙලැන්තියක් විසිනි.

ඔව්හු තමන් ගේ ම ක්‍රියාකලාපය නිසා සමාජයට තවදුටත් දැරිය නොහැකි තත්වයට පත් ව සිටිති. මොවුන් නඩත්තු කිරීමට සමාජයට නොහැකි ය. කම්කරු පන්තිය විසින් ඔවුන් සහ ඔවුන්ගේ බැංකු ගිනුම් වෙන් කල යුතු ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *