ශ්‍රී ලංකාව: මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයින් 12 දෙනා අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙති
පානි විජේසිරිවර්ධන විසිනි
2022 මැයි මාසයේ දී රටේ පැවති මහජන නැගිටීම අතරතුර, කලින් පැවති ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරන දඬුවම නියම වූ පුද්ගලයින් දොලොස් දෙනා ශ්‍රේෂ්ඨාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටිති.
දුර්වල සාක්ෂි මත පදනම් ව ඔවුන් වරදකරුවන් බවට නිගමනය කිරීම සහ පනවන ලද දඬුවම්, යුක්තිය හාස්‍යයට ලක් කිරීමකි. පුද්ගලයින් 12 දෙනාට දඬුවම් පමුනුවනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමත් සමඟ අවසන් වූ නැගිටීමට සහභාගී වූ සියලු දෙනා බිය ගැන්වීම සඳහා ය.
පෙබරවාරි 1 වන දින ගම්පහ මහාධිකරන නඩු විභාගයේ දී ලබා දුන් තීන්දුවකින් පසු, මෙම පුද්ගලයින් දැනට කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇත.
“මනුෂ්‍ය ඝාතනය” සහ “නීති විරෝධී රංචු ගැසීම” ඇතුලු චෝදනා යටතේ අධිකරනය 12 දෙනා වරදකරුවන් බව තීරනය කලේ ය. මෙම නඩුවට විත්තිකරුවන් 43 දෙනෙක් ඇතුලත් වූහ. අදාල වැරදි සඳහා කිහිප දෙනෙකුට අත්හිට වූ සිර දඬුවම් ලැබුනු අතර, ප්‍රමානවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් තවත් පිරිසක් නිදොස් කොට නිදහස් කරන ලදහ.
අර්ථභාරී ව, තීන්දුව ඒකමතික නොවී ය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා වූ සභාපති විනිසුරු සහන් මාපබන්ඩාර, “පැමිනිල්ල ශක්තිමත් නඩුවක් ඉදිරිපත් කර නැත” යනුවෙන් පවසමින්, විරුද්ධ තීන්දුවක් ලබා දුන්නේ ය.
ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “අධිචෝදනා පත්‍රයේ ඇති කිසිදු චෝදනාවක් පැමිනිල්ල විසින් සාධාරන සැකයකින් තොර ව ඔප්පු කර නොමැති බව මට පෙනේ. එම චෝදනාවල නම් කර ඇති චූදිතයින්ට එරෙහි ව ඉදිරිපත් කර ඇති චෝදනාවලින් මම චූදිතයන් නිදොස් කොට නිදහස් කරමි.”
අනෙක් විනිසුරුවරුන් දෙදෙනා මුලසුන දරන විනිසුරුවරයාගේ තීන්දුවට එකඟ නොවූ අතර “සැකකරුවන්” 12 දෙනෙකු මිනීමැරුම් චෝදනාවලට වරදකරුවන් බව තීන්දු කලහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතනය කරන ලද ශ්‍රී ලංකාවේ මාස හතරක් පුරා පැවති මහජන නැගිටීම 2022 අප්‍රේල් මාසයේ දී පුපුරා ගිය අතර, එයට රට පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, ග්‍රාමීය දුගීහු සහ තරුනයෝ සම්බන්ධ වූහ. කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි නේටෝ වක්‍ර යුද්ධය මගින් අවුලුවන ලද ආර්ථික අර්බුදයට වන්දි ගෙවීමට වැඩ කරන ජනතාවට බල කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් ජීවන කොන්දේසි වලට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම මහජන විරෝධතා පැවැත්විනි. ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා දැඩි හිඟයක් සහ අහස උසට නැඟෙන මිල ගනන් සහ පැය ගනන් දිගු විදුලිය විසන්ධි කිරීම්වලට ජනතාව මුහුන දුන්හ.
අප්‍රේල් 9 වන දින සිට කොලඹ ගාලු මුවදොර පිටිය විරෝධතා ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ අතර දහස් ගනනක් එහි රැඳී සිටියහ. අප්‍රේල් 28 සහ මැයි 6 වන දින මිලියන ගනනක් කම්කරුවන් එක්දින මහා වැඩවර්ජනවල නිරත වූහ. හර්තාලයකින්, නැතහොත් සාමාන්‍ය ව්‍යාපාර වසා දැමීමකින්, මිලියන සංඛ්‍යාත පිරිසක් දෙවන වැඩවර්ජනයට සහාය දැක්වූහ.
මෙම සිදුවීම්වලින් කම්පනයට පත් වූ ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා වූ එවකට අගමැති මහින්ද රාජපක්ෂ, මැයි 9 වන දින පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) අයත් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුලු දහස් ගනනක් ආධාරකරුවන් තම නිවසට කැඳවීය. අමරකීර්ති මෙම රැස්වීමට සහභාගී වූ බව පෙනේ.
අගමැති සහ අනෙකුත් ශ්‍රීලපොපෙ නායකයින්ගේ කතාවලින් පසු, ඔවුන්ගේ ආධාරකරුවන් නිවස අසල විරෝධතාකරුවන්ට පහර දී පසුව ගාලු මුවදොර පිටියට පා ගමනින් ගොස් නිරායුධ ආක්‍රමනිකයන්ට ප්‍රචන්ඩ ලෙස පහර දුන්හ. පොලිසිය සහ හමුදාව මැරයින්ට ඉදිරියට යාමට ඉඩ දුන්හ. සමහර ශ්‍රීලපොපෙ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය නායකයින් විරෝධතාකරුවන්ට පහර දී ඔවුන්ගේ කඳවුරු විනාශ කරන අයුරු දක්නට ලැබුනි.
ගාලු මුවදොර පිටියේ විරෝධතා කුටියකට දක්ෂිනාංශික මැරයන් පහර දුන් අතර, කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූ අතර කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූහ. මෙම ප්‍රචන්ඩකාරී ප්‍රහාරය මහජන නැගිටීමේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කල අතර, කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය දුප්පතුන් වැඩි ස්ථරයක් එක් රැස් වූහ. රට පුරා කෝපය පැතිර ගිය අතර බොහෝ නගර සහ මහනගරවල විරෝධතා ඇති විය. තැපැල්, සෞඛ්‍ය සහ වරාය සේවකයින් දහස් ගනනක් වැඩ වර්ජනය කර පෙලපාලි ගියහ.
එදින ම සවස, කොලඹ සිට කිලෝමීටර 40 ක් පමන දුරින් පිහිටි නිට්ටඹුවේ දී, සිය ගනනක් ජනයා විරෝධතාවයේ නිරත වූහ. අමරකීර්තිගේ වාහනය සෙනඟ අතර සිර වී තිබුනි. ප්‍රාදේශීය වාර්තාවලට අනුව, ඔහුගේ පොලිස් ආරක්ෂකයා පෙලපාලියට වෙඩි තැබූ අතර, එක් තරුනයෙකු මිය ගොස් තවත් තරුනයෙකුට තුවාල සිදු විය. පසුව මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා අසල ගොඩනැගිල්ලක් තුල රැකවරනය පැතූ අතර, පසුව ඔවුන්ගේ මල සිරුරු සොයා ගන්නා ලදී.
නඩුව බොහෝ දුරට පරිවේශනීය සාක්ෂි මත රඳා පැවතුනි. විත්තිකරුවන්ගෙන් සමහරක් හඳුනා ගැනීම සඳහා CCTV දර්ශන භාවිතා කල බව පෙනේ, නමුත් ඝාතන සිදු කලේ කවුරුන් ද යන්න තහවුරු කිරීම සඳහා සෘජු වීඩියෝ සාක්ෂි හෝ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කර නොමැත. බිම් මහලේ සහ පලමු මහලේ පමනක් කැමරා සවි කර තිබූ අතර, මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කරන ලද දෙවන මහලේ කැමරා සවිකර නොතිබුනි. පැහැදිලි සාක්ෂි නොමැතිවීම, 12 දෙනෙකු වරදකරුවන් කර මරන දඬුවම නියම කිරීමෙන් අධිකරනය වැලැක්වූයේ නැත.
මෙම 12 දෙනාගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීමෙන් විනාශයට පත් වූ දුප්පත් සහ පහල මධ්‍යම පාන්තික පවුල්වල අය වෙති. අභියාචනා ගොනු කිරීමට සූදානම් වෙමින් සිටි සමහරුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවෝ කතා කලහ. අත්අඩංගුවට ගැනීම්, වසර ගනනාවක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම් සහ වැඩිවන නීතිමය වියදම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිත බිඳ වැටී ඇත.
පලමු විත්තිකරු ලෙස හඳුනාගෙන ඇති ධනුෂ්ක ලක්ෂාන්ත වික්‍රමාරච්චි ත්‍රිරෝද රථ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා විය. දැන් තම සිවු හැවිරිදි දියනිය රැකබලා ගැනීමට අරගල කරන ඔහුගේ සහකාරිය වන විජිතා පැවසුවේ, විදේශයන්හි සේවය කරන ඥාතීන්ගෙන් ඉඳහිට ලැබෙන සහයෝගය සහ ධනුෂ්කගේ ත්‍රිරෝද රථය දෛනික පදනම මත කුලියට දීමෙන් ලැබෙන ආදායමෙන් පවුල දිවි ගෙවන බවයි.
“ධනුෂ්ක අත්අඩංගුවට ගත්තට පස්සෙ හැමදේම කඩා වැටුනා,” යැයි ඇය පැහැදිලි කලා ය. “අපි උසාවිවලට යන්න, නීතිඥයින්ට ගාස්තු ගෙවන්න, ධනුෂ්ක බලන්න බන්ධනාගාරෙට යන්න රුපියල් ලක්ෂ ගනනක් වියදම් කලා. දැන් අපට අභියාචනා නඩුව දිගට ම කරගෙන යන්නේ කොහොමද කියල හිතාගන්න බෑ.”
ඔවුහු නිට්ටඹුව නගරය අසල කුලී නිවාසයක ජීවත් වන අතර දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුන දෙති. ධනුෂ්කට පෙර විවාහයකින් දරුවන් සිටින අතර ඔවුන්ට සහයෝගය අවශ්‍ය වන අතර එමඟින් පවුල මත අමතර බරක් පැටවේ.
තවත් විත්තිකරුවෙකු වන 48 හැවිරිදි ඉන්දික කුමාර විජේසිංහ, රජයට අයත් සමෘද්ධි බැංකුවක සේවය කලේ ය.
අභියාචනය ගොනු කිරීමට සහ නීතිඥ ගාස්තු ගෙවීමට රුපියල් මිලියන ගනනක් අවශ්‍ය වනු ඇතැයි ඥාතීහු පැවසූහ. දැනටමත් නය බරින් මිරිකී සිටින ඔවුන් මංමුලා සහගත ය.
වරදකරුවන්ගේ පවුල්වලට නඩුවෙන් ඇති ව තිබෙන මානසික බලපෑම ඔවුහු විස්තර කලහ. දරුවන් පාසලේ දී සමච්චලයට ලක්වන අතර, භාර්යාවන් සහ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රජාවන් තුල සමාජ හුදකලාවට මුහුන දෙයි. බොහෝ පවුල් දැන්, අක්‍රමවත් ශ්‍රමය, නය හෝ විදේශ රැකියාවන්හි නියුතු ඥාතීන්ගෙන් ලැබෙන ආධාර මත යැපෙමින් දිවි ගලවා ගනිති.
2022 කැලඹිලිවලට හසු වූ සාමාන්‍ය ජනතාවට දැඩි දඬුවම් පනවා ඇති අතර, ආන්ඩුවට එරෙහි විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ බොහෝ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අනෙකුත් දේශපාලන සංවිධායකයින් නිදොස් කොට නිදහස් කර ඇත. සමහර වාර්තාවලට අනුව, ඔවුන් සිදු වූ ඕනෑම හානියකට අසමාන ලෙස විශාල මුදලක් ඇතුලත් රක්ෂන ගෙවීම් ද ලබාගෙන ඇත.
මෙම ද්විත්ව ආස්ථානය ධනේශ්වර රාජ්‍යයේ සහ එහි නීති පද්ධතියේ පන්ති ස්වභාවය හෙලිදරව් කරයි.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, 2022 මහජන නැගිටීම පිටුපස ඇති අභිලාෂයන් නියෝජනය කරන බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන නමුත් එය අධිකරන තීන්දුවට එරෙහි ව මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇත. පෙබරවාරි 23 වන දින, වරදකරුවන් වූ පුද්ගලයින් 12 දෙනාගේ ඥාතීහු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් “සිදු වී ඇති අසාධාරනය පැහැදිලි කරමින්” ලිපියක් භාර දුන්හ. ඔවුන්ට කිසිදු පිලිතුරක් ලැබී නැත.
චූදිතයන්ගෙන් එක් අයෙකුගේ මව පැවසුවේ තම පුතා 2022 මැයි 9 වන දින නිවසින් පිටව ගියේ නගරයේ වර්ධනය වන නොසන්සුන්කාරී තත්ත්වය නිරීක්ෂනය කිරීම සඳහා පමනක් බවයි. “මගේ පුතා අපරාධකාරයෙක් නොවේ,” ඇය පැවසුවාය. “අපි දුප්පත් මිනිස්සු. අපට බලයක් නැහැ, මුදල් නැහැ සහ බලපෑමක් නැහැ. අපි ඉල්ලන්නේ යුක්තිය පමනයි.”
අභියාචනා ක්‍රියාවලිය ඉදිරියට යන තෙක් බලා සිටින පවුල්වලට දැනෙන බලාපොරොත්තු සුන්වීම තවත් ඥාතියෙකු විස්තර කලේ ය. “සෑම දවසක ම අපි බයෙන් ජීවත් වෙන්නෙ,” ඇය පැවසුවා ය. “නඩුවට මොකක් වේද කියල අපි දන්නෙ නෑ. අපේ ජීවිත විනාශ වෙච්ච බව විතරයි අපි දන්නෙ.”
අධිකරන තීන්දුව සහ දඬුවම තුල, සමස්ත කම්කරු පන්තියට සහ රටේ පීඩිත ජනතාවට බරපතල ඇඟවුම් ඇත. වැරදිකරුවන් බවට පත් වූ පුද්ගලයින් 12 දෙනා වනාහි, නැඟී එන මහජන විරෝධයට බියෙන් ජීවත් වන සහ වැඩ කරන ජනතාව බිය ගැන්වීමේ ලා මෙම දඬුවම ආදර්ශයක් සේ යොදා ගැනීමට යත්න දරන පාලක පන්තියක ගොදුරු බවට පත් වූවන් ය.
අධිකරනයෙන් මරන දඬුවම් දිගට ම ලබා දුන්න ද, දශක ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මරන දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලික ව අත්හිටුවා ඇත. වැරදීමෙන් වරදකරුවන් බවට පත්වීමේ අන්තරායන්, දේශපාලන මැදිහත්වීම් සහ නීතිමය ආරක්ෂාව සඳහා සමාන නොවන ප්‍රවේශය පෙන්වා දෙමින් මානව හිමිකම් සංවිධාන නැවත නැවතත් මෙම ක්‍රියාව විවේචනය කර ඇත.
ආන්ඩුවේ සහ විපක්ෂයේ සියලුම ධනපති පක්ෂ, 12 දෙනාගේ සහ ඔවුන්ගේ පවුල්වල ඉරනම පිලිබඳව නිහඬ ව සිටිති. නඩු විභාගයේ සාධාරනත්වය, බෙදුනු තීන්දුව හෝ මරන දඬුවම් පැනවීමේ දී අවස්ථානුකූල සාක්ෂි මත යැපීම පිලිබඳව කිසිවෙකු කිසිදු කනස්සල්ලක් මතු කර නොමැත.
මේ අතර, ධනේශ්වර මාධ්‍ය බොහෝ දුරට නිට්ටඹුව සිදුවීම 2022 පුලුල් කැලඹීම්වලින් වෙන් වූ හුදකලා අපරාධ ක්‍රියාවක් ලෙස නිරූපනය කර ඇත. රූපවාහිනී නාලිකා සහ පුවත්පත් මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ ආරක්ෂකයාගේ මරන නැවත නැවතත් ඉස්මතු කල අතර රට පුරා විරෝධතා අවුලුවාලූ සමාජ බලාපොරොත්තු සුන්වීම සහ දේශපාලන කෝපය කෙරෙහි එතරම් අවධානයක් යොමු කලේ නැත.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), 12 දෙනා වරදකරුවන් බව ප්‍රකාශයට පත්කල නඩු තීන්දුවට සහ මරන දඬුවම්වලට නිශ්චිත ව ම විරුද්ධ වේ. මරන දඬුවම යනු පීඩිතයන් බිය ගැන්වීමට සහ මර්දනය කිරීමට ඓතිහාසික ව භාවිතා කරන ලද ම්ලේච්ඡ මෙවලමකි.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සෑම කෙනෙකුගෙන් ම සසප ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සියලු චෝදනා ඉවත් කර වැරදිකරුවන් වූ 12 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙසයි. 2022 මැයි 9 වන දින සැබෑ අපරාධකරුවන් – නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ප්‍රහාර සංවිධානය කල අය – නඩු පැවරිය යුතු අයයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.