නතාෂා එදිරිසූරියගෙන් ස්තුතිය පළ කිරීමේ සටහනක්
පරාක්‍රම කුරුප්පු විසිනි
බුද්ධාගමට අපහාස කළ බවටත්, ආගමික සමගියට බාධා පැමිනවූ හා වෛරය පැතිරවූ බවටත් නඟන ලද බොරු චෝදනා මත 2023 මැයි මාසයේ අත් අඩංගුවට ගෙන පුරා සති 6ක් බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය මෙනෙවිය, තමන්ට ලබා දෙන ලද තිරසාර සහාය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරමින් කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ශාන්ත විජේසූරිය වෙත පහත දැක්වෙන ප්‍රකාශය එවා ඇත:

මා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ දී හා ඉන් පසු සිදු වූ සියලු සිදුවීම්වල දී දිගටම ඔබ මා වෙත ලබා දුන් ස්ථිරසාර සහයෝගය පිළිබඳව ස්තුතියි.
මගේ අතිශය ප්‍රසිද්ධ හා නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමෙන් දින 998 කට පසුව අවසානයේ දී එය නීතිමය පෙරමුණ තුළ කෙළවරකට පැමිණ ඇත. මා අත්අඩංගුවට ගත් නිලධාරියා පසුගිය පෙබරවාරි 19 වන දින තම කණගාටුව පළ කරමින් ලිඛිත සමාව ඉල්ලා සිටීමක් නිකුත් කර ඇත. එහෙත් මේ පිළිබඳව මා වඩාත් ම ආඩම්බරයට පත් වන කරුණ වන්නේ, වෙනසක් සඳහා පීඩනය යෙදීමට අප සමත් වීමයි. ICCPR පනතට සම්බන්ධව නීතිය එහි ඉහළම ප්‍රමිතියෙන් පවත්වා ගෙන යනු ලැබෙන බව සහතික කිරීමට නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට පොලිස්පති එකඟ වී ඇත.
නෛතික අරගලය නිමාවට පත් වී ඇතුවා විය හැකි නමුදු, මහජන මතයේ අධිකරණය තුළ පරීක්ෂණය සත්තකින් ම තව දුරටත් විභාග වෙමින් පවතී. ඔබේ සහයෝගය නොමැතිව සාවද්‍ය හා අසත්‍ය තොරතුරු ද හිරිහැර කිරීම් ද දරා සිටීමට මට නොහැකි වනු ඇත. සහයෝගීතාවය පළ කෙරෙන සෑම පණිවුඩයක් ම, සෑම ඉඟියක් ම හා සෑම ක්‍රියාවක් ම ඔබ දන්නා පමණට ද වඩා මට වැදගත් විය.
මෙය සුලබ වැකියක් ලෙස ඇසෙන්නට පුළුවන; එහෙත් අප ගමන්මඟේ හමුවන මිතුරන් යනු අපේ සැබෑ ධන නිධානය විය හැකිය. මේ පිළිබඳව මම සදහට ම කෘතවේදී වෙමි. ඔබට අනේක වාරයක් ස්තුතියි.
ඉදිරියට යාමේ දී, ගමන තවමත් නිමා වී නැති බව මම දනිමි. තවමත් කළ යුතු දේ බොහෝ ය. ඔබේ දිරි ගැන්වීම, ඔබේ සහයෝගය, සහ හරි දේ වෙනුවෙන් නැඟී සිටීමට ඔබේ ඇති කැමැත්ත තවමත් සියලු අරුතින් වැදගත් ය. මා නැඟී සිටින්නේ තනිව ම නො වන බව දැන සිටීම, සියල්ල වෙනස් කිරීමට ඉවහල් වනු ඇත. නිදහස් භාෂණය පිළිබඳ ලෝක ගෝලීය සමුළුව හමුවේ කථාවක් කිරීමට මට ආරාධනා කර ඇත. ඔබ එය සතුටින් අසනු ඇතැයි අපේක්ෂා කරමි.
ආදරයෙන්,
නතාෂා
නිදහස් භාෂණය පිළිබඳ ලෝක ගෝලීය සමුළුව හමුවේ ඇය ඉදිරිපත් කළ කථාව තුළ, නිදහස් භාෂණයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ සිය අධිෂ්ඨානය යළිත් ශපථ කිරීමට නතාෂා කටයුතු කළාය. සිය සුපුරුදු ශෛලිය පවත්වා ගනිමින් ම, භාෂණයේ මූලික අයිතිය පිළිබඳ සංවේදී ලෙස කථා කළ ඇය, “ඔබ ඉවසා සිටිය නොහැකි තත්ත්වයන් ඉවසා සිටින්නෙහි නම් සමස්ත සමාජය ඉවසා සිටිය නොහැක්කක් බවට පත් වනු ඇතැ”යි සඳහන් කරමින් භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් නොවැදීම විසඳුමක් නොවන බව තමාට හුරුපුරුදු සෝපාහාසාත්මක ශෛලියෙන් ම පෙන්වා දුන්නා ය.
“මා සිරභාරයේ සිටින විට, මට සිදු විය හැකිව තිබූ නරක ම දෙය සිදු වී ඇතැයි මම සිතුවෙමි. මට වැටහී ගිය එක ම දෙය වූයේ මගේ ආදරවන්තයා මා හට පැවැසූ යමකි. ‘ඔබ ජීවතුන් අතර සිටීම ගැන සතුටුවන්න. මීට වඩා බෙහෙවින් සුළු දේ වෙනුවෙන් මේ රටේ දී මිනිසුන් මරා දමා ඇත.’ ජීවත්වීමට ලැබීම සුඛෝපභෝගයක් ලෙස මට දැන් හැඟේ.”
සියලු දෙනාගේ, තමාට වෛරී ලෙස අමතමින් බිහිසුණු තර්ජන ගෙන එන්නන්ගේ පවා, කථා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටි නතාෂා සිය ඉදිරිපත් කිරීම අවසන් කළේ තමා සිය ප්‍රහසන වැඩ සටහන් නො නවත්වන බවට ශපථ කරමින්, “මම විහිලු කිරීම නො නවත්වන්නෙමැ”යි පවසමිනි.
ඇය ඉදිරිපත් කළ සම්පූර්ණ කථාව මෙතනින් නැරඹිය හැකිය.Whatsapp