“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: ගාසා සමූල ජන ඝාතනයේ මාස හයක

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 07 දින පල වූ “A war against humanity”: Six months of the Gaza genocide‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

අප්‍රේල් 07, ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් සමූල ජන ඝාතනය, එහි ආරම්භයේ සිට මාස හයක් ගතවීම සනිටුහන් කරයි.

මෙම යන්තම් අඩ වසරක කාලසීමාව තුල ඊශ්‍රායලය, ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාවගෙන් මිලියන 1.9 ක් අවතැන් කර, සමස්ත ජනගහනයට, ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය අහෝසි කර, දස දහස් ගනනක් මිනිසුන්ගේ මරනයට තුඩු දෙන ක්‍රමානුකූල සමූලඝාතන දිනපතා සිදු කර ඇත. 

දැනට මරන සංඛ්‍යාව 33,137 කි. අතුරුදහන් වූවන් එකතු කල පසු, සැබෑ සංඛ්‍යාව 44,000 ඉක්මවනු ඇත. තවත් 75,815 දෙනෙකු තුවාල ලබා ඇත.

යන්තම් මාස හයක කාලය තුල, ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 5.45 ක් මිය ගොස්, තුවාල ලබා හෝ අතුරුදහන් වී ඇත. ඇමරිකානු ජනගහනය හා සැසදීමේදී  මෙම ප්‍රතිශතය මිලියන 18 කට වඩා වැඩි වනු ඇත.

සියල්ලටම වඩා කම්පනය කරනසුලු වන්නේ ඝාතනයට ලක්වූවන්ගෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන් සහ ලමුන් වීමය. ඊශ්‍රායලය හිතාමතාම වෛද්‍ය සේවකයින්, මානුෂීය සේවකයින්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ඉලක්ක කර ඇත. වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් නිර්මාතෘ හොසේ අන්ඩ්‍රෙස් ඉරිදා ප්‍රකාශ කල පරිදි, ඊශ්‍රායලය “මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්” සිදු කරයි.

පසුගිය මාස හයක කාලය තුල, ගාසා තීරයට බෝම්බ හෙලීම, ආක්‍රමනය කිරීම සහ අවහිර කිරීම පිලිබඳ එක්සත් ජනපද-ඊශ්‍රායල සාධාරනීකරනයේ සෑම අංගයක්ම මුසාවක් බව  හෙලිදරව් වී ඇත.

හමාස් හි දේශසීමා හරහා ප්‍රහාරයෙන් සති කිහිපයක් තුලදීම, යුද්ධයට කඩතුරාව ලෙස භාවිතා කල ඔක්තෝබර් 7 ප්‍රහාරය සඳහා වූ හමාස්ගේ සම්පූර්න මෙහෙයුම් සැලැස්ම, ඊශ්‍රායලය සතුව තිබූ බව හෙලි විය. මෙම දැනගැන්ම නොතකා, ප්‍රහාරයට ආසන්න පූර්වයේදී ගාසා දේශසීමාවෙන් පසුබැස  වෙනත් අත ස්ථානගත වන ලෙස ඊශ්‍රායල බුද්ධි අංශ සහ හමුදා බලකායන්ට නියෝග දෙන ලදී.

දින කිහිපයක් තුලදීම, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජනගහනයට එරෙහි සමූල ජන ඝාතක යුද්ධයක් සඳහා වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කලේය. ඔක්තෝබර් 9 දා ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  ප්‍රකාශ කලේ, “අපි සටන් කරන්නේ මිනිස් සතුන් සමඟයි, අපි ඒ අනුව ක්‍රියා කරන්නෙමු. ගාසා තීරයේ සම්පූර්න වැටලීමක් මම නියෝග කලෙමි. විදුලිය, ආහාර, ඉන්ධන නැති වනු ඇත.” යන්නයි.

යන්තම් දින හතරකට පසුව, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ප්‍රකාශ කලේ, “එයට  මුලු ජාතියම වගකිව යුතුය. දැනුවත් නැති, සම්බන්ධයක් නැති සිවිල් වැසියන් ගැන කරන මේ වාචාල තර්ක ඇත්ත නොවෙයි…  අපි ඔවුන්ගේ පිටකොන්ද කැඩෙනකම් සටන් කරනවා.” කෘෂිකර්ම අමාත්‍ය අවි ඩික්ටර් ප්‍රකාශ කලේ, “අපි ගාසා නක්බාව දියත් කරන්නෙමූ” (ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවද්දී,  1947-48 පලස්තීනුවන්ට එරෙහිව සිදු කල  මුල් ජනවාර්ගික පවිත්‍රකරනය  පිලිබඳ සඳහනකි).

සමූල ජන ඝාතක චේතනාවෙන් මෙම ප්‍රකාශයන් සිදු කිරීමෙන් පසු, නෙතන්යාහු රජය ගාසාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ජීවිතයේ සියලු අංශ ක්‍රමානුකූලව ඉලක්ක කර, සෑම රෝහලක්ම, පාසලක් සහ නිවසක්ම සමතලා කිරීමට සහ හැකිතාක් පිරිමින්, කාන්තාවන් සහ ලමයින් මරා දැමීමට කටයුතු කලේය.

සියොන්වාදයේ ඉදිරිදර්ශනයේ බංකොලොත් සහ ප්‍රතිගාමී බව මෙම සමූල ජන ඝාතනය මගින් අවිවාදිතව පෙන්වා දී ඇත.  සමූහ මිනීමැරුම් සමඟ එහි සබඳතාවය මගින්, ඊශ්‍රායලය සදහටම  සලකුනු කෙරෙනු ඇත. එය දශක ගනනාවක පලස්තීනුවන්ට එරෙහි ම්ලේච්ඡ මර්දනයේ සහ  සමස්තයක් ලෙස යුදෙව් ජනතාවගේ අවශ්‍යතා ඊශ්‍රායල රාජ්‍යය සමඟ ව්‍යාජ ලෙස අනන්‍ය කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය යුතුයි.

ඊශ්‍රායලයෙන් ඔබ්බෙහි, මෙම සමූල ජන ඝාතනය සමස්ත අධිරාජ්‍යවාදී පර්යායටම එරෙහි ගර්භාවක් ලෙස පවතී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ ධනේශ්වර බලවතුන්, නූතන යුගයේ දැවැන්තම අපරාධවලින් එකකට සහයෝගය දී, සන්නද්ධ කර, අරමුදල්  සපයා දේශපාලනිකව යුක්ති සහගත කිරීම සිදු කර ඇත.

ඊශ්‍රායල ආන්ඩුව ගාසා තීරයේ ජනගහනය ඝාතනය කර පලවා හැරීමේ එහි අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියදී, බයිඩන් පරිපාලනය ගැටුම පිලිබඳව සාකච්ඡාමය සමථයකට තම විරුද්ධත්වය නැවත නැවතත් ප්‍රකාශ කලේය. සටන් විරාමයක් සඳහා “කිසිදු හැකියාවක් නැත”ව, බයිඩන් නොවැම්බර් 9 දා පැවසීය.

මෙයින් යන්තම් දින කිහිපයකට පසුව, සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් වොෂින්ටනයේ සමූල ජන ඝාතනයට පක්ෂ රැලියක් අමතමින්, “අපි ඔබ සමඟ සිට ගන්නෙමු… ඔබට අවශ්‍ය සහය ලැබෙන තුරු අපි නතර නොවෙමු”යි  බෙරිහන් දුනි.

මේ මාස හයක කාලය තුල, බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට වෙන් වෙන් ආයුධ සැපයුම් 100 කට වඩා සිදු කරමින්, නෙතන්යාහු ආන්ඩුවට හිතුමතේ ගාසාවේ ජනගහනය හාමත් කිරීමට, ඝාතනය කිරීමට සහ වධ හිංසා කිරීමට කොල එලිය ඇති බව පැහැදිලි කර තිබේ.

මෙම යථාර්ථය, ධවල මන්දිරය විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා නෙතන්යාහු ආන්ඩුවට “පීඩනය” යෙදීමට උත්සාහ කර ඇති බවට බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් සඳහා, ප්‍රති උත්තර දිය නොහැකි ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පවතී.

ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනයේ  ප්‍රතිපත්තිය, ඊශ්‍රායලයට දුන් හිස් චෙක්පතකට සමාන වන අතර, එය,  නෙතන්යාහු පිලිබඳව ධවල මන්දිරය විසින් සිදු කරන හුදු වාචික විවේචන නොතකා අද දක්වාම පවතින ප්‍රතිපත්තියක් වේ.

බයිඩන් පරිපාලනය ඊශ්‍රායල සමූල ජන ඝාතනයට නිශ්චිත සහයෝගය ලබා දීම, රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ගෝලීය ආධිපත්‍යය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ඉරානය ඇතුලු මැද පෙරදිග පුරා එක්සත් ජනපද මිලිටරිවාදය පුපුරා යාමේ කොටසකි.

ගාසා සමූල ජන ඝාතනය විශාල හා දුරදිග යන සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ඇති කරනු ඇත. දැනටමත් ගාසා හි සමූහ ඝාතනය , ඉරාක යුද්ධයෙන් පසු විශාලතම ගෝලීය මහජන උද්ඝෝෂන අවුලුවා ඇත. ඔවුන්ගේ යුද්ධ යුක්තිසහගත කිරීම සඳහා අතොරක් නැතිව “මානව හිමිකම්” කැඳවා ගන්නා අධිරාජ්‍යවාදී බලවතුන්, සමූල ජන ඝාතනය සක්‍රීය කරන්නන් සහ සහචරයින් ලෙස එය පෙන්වා දී ඇත.

සියල්ලටම වඩා ගාසා සමූල ජන ඝාතනය ධනවාදයේ අපරාධයකි. න්‍යෂ්ටික යුද්ධයේ සිට වැලැක්විය හැකි වසංගතයක් මගින් සදාකාලික සමූහ මිය යෑම් සහ සමූල ජන ඝාතනය දක්වා, සමාජ ම්ලේච්ඡත්වයේ සෑම ආකාරයක්ම,  ධනේශ්වර සමාජ පර්යාය නීත්‍යානුකූල කරමින් සිටී. අනාගත පරම්පරාවන් විසින් ගාසා සමූල ජන ඝාතනය, ධනේශ්වර සමාජ පර්යායට එරෙහිව බලගතු ප්‍රවාහයන්ගේ  වර්ධනය ඉදිරියට තල්ලු කල ප්‍රත්‍යාවර්තක ලක්ෂ්‍යයක් ලෙස දකිනු ඇත.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, සියොන්වාදයේ තර්කනය: ජාතිකවාදී මිථ්‍යාවේ සිට ගාසා සමූල ජන ඝාතනය දක්වා  හි පැහැදිලි කරන පරිදි:

එහි සියලු භීෂනයන් තිබියදී, දැන් පවතින යුද්ධය එක් සැලකිය යුතු දේශපාලන දායකත්වයක් ලබා දී ඇත. එය තරුන පරපුර අවදි කර ඇත. එය ලෝකයේ ඇස් විවර කර ඇත. එය සියොන්වාදී තන්ත්‍රය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් අපරාධකරුවන්   බව හෙලිදරව් කර ඇත. එය ලොව පුරා පැතිර යන කෝපයේ උදම් රැල්ලක් ක්‍රියාත්මක කර ඇති අතර , එය මෙම සමූල ජන ඝාතනයට වගකිවයුත්තන් පිස දා ගලා යනු ඇත.

කර්තව්‍යය වන්නේ, තවමත් දේශපාලනික වශයෙන් නිශ්චිත හැඩයක් නොගත් මෙම වැඩෙන විරුද්ධත්වය, කම්කරු පන්තිය වෙත නැඹුරු වූ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සවිඥානික ව්‍යාපාරයක් බවට පත් කිරීමයි.

thesocialist’lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *