ඊශ්‍රායලය දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට බෝම්බ දමයි: මැද පෙරදිග, කලාපය අලලා ගත් යුද්ධයක අද්දර

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 02  දින පල වූ ‘Israel bombs Iran’s embassy in Damascus: The Middle East on the brink of region-wide war ‘යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙකු සහ තවත් තිදෙනෙකු මරා දමමින්, සඳු දින  දමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය විසින්  බෝම්බ හෙලීම, දේශපාලනිකව වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් විසින් වගකීම දරන, ඉරානයට එරෙහි යුද ක්‍රියාවකි.

Damascus
2024 අප්‍රේල් 1 වන සඳුදා, සිරියාවේ ඩැමස්කස් හි ගුවන් ප්‍රහාරයකට ගොදුරු වූ ගොඩනැගිල්ලක හදිසි සේවා වැඩ කරයි. [AP Photo/Omar Sanadiki]

බෝම්බ හෙලීම ඉරානයට එරෙහි ඊශ්‍රායල යුද්ධයේ ප්‍රධාන නව අදියරක් සනිටුහන් කරයි, මන්ද යත් එහි ඉලක්කය වූයේ ජාත්‍යන්තර නීතියට අනුව ඉරාන භූමිය වීමයි. විශේෂයෙන්ම  2020 දී ඉරාකයේදී එක්සත් ජනපදය විසින් IRGC  (Islamic Revolutionary Guard Corps) ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමෙන් පසුව, දිගු කලක් තිස්සේ, ඉරාන සහ සිරියානු නිලධාරීන් ඝාතනය කිරීම පිනිස නිරන්තර බෝම්බ හෙලා සිදු කල ඉලක්ක කරගත් මිනීමැරීමේ  නීති විරෝධී විදේශ ප්‍රතිපත්තියක්  ඊශ්‍රායල තන්ත්‍රය ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, එහි නවතම ක්‍රියාව ඉරානය සහ ඊශ්‍රායලය අතර මෙන්ම ඊශ්‍රායලයේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන් අතර සෘජු යුද්ධයක් අවුලුවාලීමට තර්ජනය කරයි.

ඊයේ ඉරාන නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට සපත කලහ. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ, “මෙම අපරාධය කල (ඊශ්‍රායලයට), සහ එය සිදු කල අනෙකුන්ට ඒ ගැන පසුතැවීමට  අපි  කටයුතු කරමු.” රුසියානු, චීන සහ සෞදි විදේශ අමාත්‍යාංශ ද ප්‍රහාරය හෙලා දකිනා ප්‍රකාශ නිකුත් කලෝය.

බයිඩන් පරිපාලනය ප්‍රහාරයෙන් පසු ආසන්නයේ ඉරාන නිලධාරීන් සම්බන්ධ කර ගත් බව වාර්තා වූ අතර, වගකීම ප්‍රතික්ෂේප කරමින් කියා පා ඇත්තේ, ඊශ්‍රායල නිලධාරීන්  ප්‍රහාරය පිලිබඳව  ඔවුන්ව දැනුවත් කර ඇත්තේ එය සිදු කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පමනක් බව ය. කෙසේ වෙතත්, බයිඩන් ට දැනුම් දුන්නත් නැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ඊශ්‍රායලයට හැඟී ගියේ, මාස හයක් පුරාවට ගාසා තීරයට එරෙහි  සමූල ජන සංහාරය තුල  වොෂින්ටනය සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් ඔවුන්ට හිස් චෙක්පතක් ලබා දී තිබූ බැවිනි.

ධවල මන්දිරය සමඟ සම්බන්ධීකරනයකින් තොරව ඊශ්‍රායලය මෙම ක්‍රියාමාර්ගය ගනු ඇතැයි විශ්වාස කිරීමට අපහසුය. එය එසේ නම්, නොවැම්බර් මැතිවරනයට පෙර බයිඩන් පරිපාලනය යුද්ධයේ  දැවැන්ත උත්සන්න කිරීමට උත්සාහ කරන බව ඇඟවුම් කෙරෙයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ඊශ්‍රායල ප්‍රහාරය හෙලා දැකීම ප්‍රතික්ෂේප කලහ. ප්‍රහාරය සඳහා ඊශ්‍රායලයේ තර්කනය සඑල ලෙස අනුමත කරමින්, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති රොබට් වුඩ් පැවසුවේ, “ත්‍රස්තවාදී නායකයින් සහ එවැනි කොටස් මෙම මධ්‍යස්ථානයේ සිටින බවට වන වාර්තා පිලිබඳව තමන් කනස්සල්ලට පත්වන අතර, ඉරානය විසින් ත්‍රස්තවාදීන් සහ අනෙකුත් ප්‍රචන්ඩ අන්තවාදීන් අඛන්ඩව සම්බන්ධීකරනය, පුහුනු කිරීම සහ සන්නද්ධ කිරීම හෙලා දකිනවා” යනුවෙනි.

මෙම සතියේ එක්සත් ජනපද නිලධාරීන් ගාසා හි අල්-ෂිෆා රෝහලේදී ඊශ්‍රායල හමුදාව විසින් මිනිසුන් 400ක් සමූලඝාතනය කිරීම නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කලහ. ධවල මන්දිර ප්‍රකාශිකා කරීන් ෂොන්-පියා (  Karine Jean-Pierre) සැහැසි ලෙස ප්‍රකාශ කලේ, “හමාස් රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු” බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මයික් මැතිව්ස් ද පෙන්නුම් කලේ, පලස්තීන සරනාගතයින් මිලියන 1.5ක් කූඩාරම් නගරවල වෙසෙන රෆා වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම අනුමත කරන බව ය. ඔහු පැවසුවේ හමාස් සටන්කරුවන දිගටම රෆා වල සිටිද්දී ඊශ්‍රායලය නිකං බලා සිටින සෙනාරියක් (තත්ත්වයක්) පිලිගත නොහැකි බවයි.”

වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් පලස්තීනුවන් 32,000ක් මරා දැමූ ඊශ්‍රායල ජන සංහාරයට කොල එලි දල්වන්නේ ඔවුන් මැද පෙරදිග පුරා සමාන අපරාධ සූදානම් කරමින් සිටින බැවිනි. ගාසා ජන සංහාරයේ ආරම්භයේ දී, වොෂින්ටනය  ඉරානය වෙත පැහැදිලිවම ඉලක්ක කෙරුනු  ගුවන් යානා වාහක සටන් කන්ඩායම් (carrier battle groups) සහ න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන කලාපයට යවන ලදී. අද, ඊශ්‍රායල නිලධාරීන් හිස්බුල්ලා මිලීෂියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෙබනනය ආක්‍රමනය කිරීම ගැන සාකච්ඡා කරන විට, ලෙබනනය, සිරියාව සහ ඉන් ඔබ්බට එරෙහි නව යටත් විජිතවාදී යුද්ධ සඳහා ඊශ්‍රායලය ප්‍රොක්සියක් ලෙස භාවිතා කිරීමට නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සැලසුම් හොඳින් ඉදිරියට ගොස් ඇත.

දශකයක් තිස්සේ රුසියානු, ඉරාන සහ හිස්බුල්ලා හමුදා, නේටෝ පිටුබලය ලබන “කැරලිකාර” ඉස්ලාමීය හෝ කුර්දි ජාතිකවාදී මිලීෂියාවන්ට එරෙහිව රජයේ හමුදා සමග එක්ව සිරියාවේ සටන් කර ඇත. සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ නේටෝ යුද්ධය වසර 13 ක් රට විනාශ කර ඇති අතර, මිලියන භාගයක් මිය ගොස් මිලියන 10 කට වැඩි සරනාගතයින් නිර්මානය කර ඇත.

යුරේසියාවේ ආධිපත්‍යය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් දියත් කරමින් සිටින ගෝලීය යුද්ධයක් මධ්‍යයේ ඊශ්‍රායලය, සඳුදා, සිරියාවේ සහ ලෙබනනයේ ඉරාන හමුදා අනදෙන  මධ්‍යස්ථානයේ හිස ගසා දැමීය. කියෙව්හි අන්ත දක්ෂිනාංශික යුක්‍රේන තන්ත්‍රය සන්නද්ධ කරමින් වොෂින්ටනය සහ එහි නේටෝ සහචරයින් යුරෝපයේ රුසියාවට එරෙහිව සටන් කරන අතරතුර, ඔවුන් රුසියාවට සහ මැද පෙරදිග එහි සහචරයින්ට ද පහර දෙමින් සිටිති. සිරියාවේ එක්සත් ජනපද සහ ඉරාන IRGC හමුදා අතර සටන් ආවරනය කරමින්, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් මෑතකදී මෙසේ ලිවීය.

“ඔවුන් ඉරානය සමඟ යුද්ධයක යෙදී සිටින බව ඇමරිකානුවන් නොදන්නවා විය හැක, නමුත් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් (Iran’s Revolutionary Guards), ඔවුන්ගේ ප්‍රොක්සින්  හරහා ඇමරිකාව සමඟ සෙවනැලි යුද්ධයක යෙදී සිටින බව නිසැකවම දනී. මෙම ඉරාන ප්‍රොක්සිවරුන්ගෙන් එක් පාර්ශ්වයක් “වාසනාවන්ත” වී එක්සත් ජනපද යුද නැවකට හෝ ජෝර්දානයේ හෝ සිරියාවේ එක්සත් ජනපද කඳවුරක බැරැක්කයකට පහර දීමෙන් විශාල ජීවිත හානි සිදුවීමක් නිර්මානය කලහොත් …ලෝකය බොහෝ දුරට එහි තෙල් මත රඳා පවතින කලාපය තුල සෘජු වෙඩි තබා ගැනීමේ යුද්ධයක් බවට පත්වනු ඇත.  මට, මෙසේ නිකමට   ඔබව  දැනුවත් කිරීමට සිතුනි.”

ව්‍යසනකාරී මිලිටරි උත්සන්න වීමේ අත්‍යාසන්න අන්තරාය පිලිබඳව ඇමරිකාව හා ලෝකය පුරා කම්කරුවන් අවදි කල යුතුය. ෆ්‍රීඩ්මන් සාකච්ඡා කරන යුද්ධය පර්සියානු ගල්ෆ් තෙල් වෙලඳාම අවහිර කිරීම නිසා ඇති වූ ගෝලීය ආර්ථික බිඳවැටීමෙන් ඔබ්බට  පවා යන  විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. යුක්රේනයේ නේටෝ-රුසියානු යුද්ධය මධ්‍යයේ සහ 2017 දී ඩොලර් බිලියන 400 ක චීන-ඉරාන වෙලඳ සහ මිලිටරි ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, එය සියලු ප්‍රධාන න්‍යෂ්ටික බලවතුන් ගෝලීය ගැටුමකට ඇද ගැනීමේ අවදානමක් ඇත.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද නිලධාරීන් එන්න එන්නම, චීනය සමඟ ගැටුම ඔවුන්ගේ කේන්ද්‍රීය අවධානය බව සඟවන්නේ නැත. පසුගිය මාසයේ, එක්සත් ජනපද මධ්‍යම අනදෙන නිලධාරී ජෙනරාල් මයිකල් කුරිල්ලා ඉරාන, චීන සහ රුසියානු පාලන තන්ත්‍රයන් අතර නේටෝවට එරෙහිව මතුවෙමින් පවතින අස්ථාවර ආරක්ෂක සන්ධානය හෙලා දුටුවේය.

“සාමූහිකව, ඉරානය, රුසියාව සහ චීනය ඔවුන්ගේ සබඳතා ශක්තිමත් කරමීන්, ඔවුන්ගේ අයථා උපයෝජනය සදහා හිතකර ව්‍යාකූල භූ දර්ශනයක් පෝෂනය කරයි,” කුරිල්ලා පැවසීය. “මෙම හවුල්කාරිත්වයේ ප්රතිවිපාක ගෝලීය ගම්‍යයයන් දරනු ඇත.” යුක්රේන යුද්ධය සඳහා ඉරාන ඩ්‍රෝන රුසියාවට  අපනයනය කිරීම සහ රුසියානු සහ ඉරාන තෙල් චීනයට අපනයනය ගැන සඳහන් කරමින් ඔහු මැසිවිලි නැගුවේ : “ඉරානය, එක්සත් ජනපදය විසින් සම්බාධක යෙදූ සිය තෙල්වලින් සියයට 90 ක්, චීනයට විකුනයි,” ලෙස පවසමිනි.

ගාසා තීරයේ ජන සංහාරය සඳහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය මතුවන්නේ රුසියාව, චීනය සහ ඉරානය ඉලක්ක කරගත්, යුද්ධය හරහා ලෝකය යටත් කර ගැනීමේ ඔවුන්ගේ තල්ලුවෙන් ය. “නාගසාකි සහ හිරෝෂිමා සේ” ගාසා තීරයට න්‍යෂ්ටික බෝම්බ හෙලන ලෙසත්, “රුසියානු හමුදා අතුගා දැමීමට” “යුක්‍රේනයේ සදහා ද එයම” ඉල්ලා සිටි එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ටිම් වෝල්බර්ග්ගේ මෑත හඬ තැලීමෙන් මෙය පැහැදිලිවම හෙලිදරව් විය. දශක ගනනාවක යුද්ධයෙන් සහ මංකොල්ල කෑමෙන් නිර්මිත ගැටුම් නිරාකරනය කිරීමට නොහැකි අධිරාජ්‍යවාදී දේශපාලඥයින්, වැඩි වැඩියෙන්ම තම මග  අවුරා සිටින්නන් සමූල ඝාතනය කිරීම හැර වෙනත් මගක්  දැක නොගනියි.

ගාසා ජන සංහාරයට විරුද්ධත්වය, එක්සත් ජනපද-නේටෝ අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. එහි අලුත් අවුරුදු ප්‍රකාශයෙහි  ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූයේ :

“සමස්තයක් ලෙස ගත් කල, විවිධ ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වයන් සාමාන්‍යකරනය කිරීම ධනේශ්වර පන්තිය ආවෘත අන්තයකට පැමින ඇති බව පෙන්නුම් කරයි. විවිධ ආකාරයේ සමාජ ඝාතනවලින් සමන්විත ප්‍රතිපත්ති ඇති පන්තියක් පැහැදිලිවම එහි ඓතිහාසික, ආර්ථික, සමාජීය සහ දේශපාලන නීත්‍යානුකූලභාවය අවසන් කර ගන ඇත.”

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා මෙන්ම නේටෝ රටවල මහජන විරෝධතා තුලින් හෙලිදරව් වන, කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය, ගාසා සමූල ඝාතනයට එරෙහිව, සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමයි. මේ සඳහා සෑම රටකම කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී නායකත්වයක්, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා  ගොඩනැගීම අවශ්‍ය වේ. මැදපෙරදිග යුද්ධය උත්සන්න වීම මගින් මතුවන මූලික හා හදිසි කර්තව්‍යය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *