400 කට අධික පිරිසක් ඝාතනය කල ෂිෆා රෝහල් සංහාරය ධවල ​​මන්දිරය ආරක්ෂා කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 01 දින පල වූ ‘White House defends Shifa hospital massacre that killed over 400′ යන හිසින් අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

සඳුදා ඊශ්‍රායල හමුදාව ගාසාවේ ෂිෆා රෝහලෙන් ඉවත් වීමෙන් පසු හෙලි වූයේ, එම සංකීර්නය ඝාතන පිටියක් බවට පත් කර ඇති බවයි. පිරිමි, කාන්තා සහ ලමයින්ගේ මල සිරුරු සිය ගනනකින් පෙන්නුම් කෙරුනේ සමූහ වශයෙන් කිසිදු වග විභාගයක් නැතිව මරා දැමීම, වධහිංසා පැමිනවීම් සහ විකෘති කිරීම්, සිදුකර ඇති බවයි.

මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 32,000ක් පමන ඝාතනය කර ඇති, ගාසා තීරයේ මාස හයකට ආසන්න කාලයක් පුරා පැවති එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරයේ විශාලතම සංහාරයන් අතර මෙම සංහාරය එක්වේ.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, රෝහලට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවයි. සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් යුරෝ-මෙඩ් මොනිටර් (Euro-Med Monitor  යනු යුරෝපයේ සහ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපය සහ යුරෝපය  පුරා සිටින සියලුම පුද්ගලයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයෙන් යුත් ස්වාධීන, ලාභ නොලබන සංවිධානයකි.) පැවසුවේ,  “පලස්තීන ඉතිහාසයේ විශාලතම සංහාරය වලින් එකක්” වන  මෙහිදී, මියගිය, අතුරුදහන් වූ හෝ තුවාල ලැබූ මුලු සංඛ්‍යාව 1,500 ඉක්මවිය හැකි බවයි.

සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ පින්තූරවලින් පෙන්නුම් කලේ අසංඛ්‍ය නරක් වූ මල සිරුරු ඊශ්‍රායල බුල්ඩෝසර් මගින් වල දමා තිබූ රෝහල් මලුවෙන් ගොඩ ගන්නා ආකාරයයි. සිරුරු අතර කාන්තාවන් සහ ලමුන් මෙන්ම දෑත් එකට සිප් දමා  බැඳ සිටි පිරිමින්ද ඇතුලත් විය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් අල් ජසීරා සහ අනෙකුත් මාධ්‍ය ආයතනවලට පැවසුවේ ප්‍රාන ඇපකරුවන්ට මාංචු දමා සිටියදී වෙඩි තබා හෝ අගල් වලට විසිකර දමා  බුල්ඩෝසර් මගින් පනපිටින් වල දැමූ බවයි.

ජන සංහාරයේ විශාලතම සංහාරය විය හැකි ම‌ේ පිලිබඳ හෙලිදරව් කිරීම් සමාජ මාධ්‍යවල පුලුල්ව පැතිරුනු මහජන කෝපයට හේතු වූ අතර මිලියන සංඛ්‍යාත ජනතාවන්  ලේඛනගත සාක්ෂි බෙදාහදා ගත්හ.

“[ඊශ්‍රායල්] වාඩිලෑම අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුල ඇති සියලුම ගොඩනැගිලි විනාශ කර පුලුස්සා දැමීය. ඔවුන් මලුව ඩෝසර් කර, දිවි පිදූවන්ගේ සිරුරු දුසිම් ගනනක් සුන්බුන් තුල වලලා, එම ස්ථානය සමූහ සොහොන් පිටියක් බවට පත් කලහ, ” ගාසා රජයේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඉස්මයිල් අල්-තවබ්තා පැවසීය. “මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“වෛද්‍ය කාර්ය මන්ඩලයේ  සමහරෙකු මරා දමන ලදී, අනෙක් අය වධ හිංසාවට ලක් කරන ලදී, අනෙක් අය රඳවා තබා ගැනුණි, අන් සියල්ලටත් වඩා, ඔවුන් සති දෙකක් තිස්සේ කිසිදු වෛද්‍ය සැපයුම් හෝ ආහාර හෝ ජලය නොමැතිව වටලනු ලැබ තිබුණි,” පලස්තීන රතු ක්‍රෙසන්ට් සමිති සංවිධානයේ ප්‍රකාශකයෙකු වන රයිඩ් අල් නිම්ස්  (Raed al-Nims) , අල් ජසීරාට පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, “ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සහ නිල වාර්තාවලට අනුව, සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ඝාතනය කරනු ලැබුණි. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු  වෛද්‍ය කාර්ය මන්ඩලය, ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා විසින් මරා දමන ලදී; ඔවුන්ව හිතාමතාම ඊශ්‍රායල සොල්දාදුවන් විසින් මරා දමන ලදී.”

භූමියේ සිට වාර්තා මත පදනම්ව, සමූලඝාතනය පිලිබඳ එහි මූලික වාර්තාවේ, යුරෝ-මෙඩ් මොනිටර් වාර්තා කලේ, “සමහරක් පිලිස්සූ, සහ තවත් අයගේ හිස් සහ අත්පා කපා දැමූ මල සිරුරු සිය ගනනක් ඇතුලුව, අල්-ෂිෆා වෛද්‍ය සංකීර්නය තුලම සහ රෝහල අවට ප්‍රදේශය තුළ සොයා ගෙන ඇති බවයි.”

ඊශ්‍රායල ජන සංහාරයේ ප්‍රමුඛ අනුග්‍රාහකයා වන බයිඩන් පරිපාලනය, කිසිවක් තහවුරු නොකරමින්ම, ෂිෆා රෝහල නීත්‍යානුකූල මිලිටරි ඉලක්කයක් බවද, හමාස් සංවිධානය එය මූලස්ථානයක් ලෙස භාවිතා කල බවටද චෝදනා කරමින් සමූල ඝාතනය ආරක්ෂා කලේය.

“හමාස් සටන්කාමීන් අල් ෂිෆා රෝහලේ සැඟවී සිටියා” යැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පැවසීය.

“මෙම ප්‍රහාරය රෝහලට එල්ල වූවක් යැයි විශ්වාස නොකරන්න,” මිලර් වැඩිදුරටත් පැවසීය. “ප්‍රහාරය එල්ල වූයේ රෝහලක් තුල සැඟවී සිටින හමාස් සටන්කාමීන්ට ය.”

ඔහු තවදුරටත් කියා සිටියේ, “රෝහල්වලට යාම නවත්වන ලෙස වැඩි පිරිසක් හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටිනු මට ඇසෙන්නේ නැත්තේ මන්දැයි මම නොදනිමි.”

ධවල මන්දිර ප්‍රකාශිකා කැරීන්  ෂාන්-පියර් ( Karine Jean-Pierre) තවදුරටත් පැවසුවේ, “එබැවින් බලන්න, හමාස් සංවිධානය රෝහල් වල සිට ක්‍රියාත්මක නොවිය යුතු බව, එයින් සිවිල් වැසියන් අවදානමට ලක් කරන බව අපි නැවත නැවතත් පවසා ඇත”

“ඔවුන් රෝහල්වල සිට  ක්‍රියාත්මක වෙනවා, රෝහල්වල සිට,” ඇය වැඩිදුරටත් පැවසුවාය. “ඔවුන් කරන්නේ එයයි. ඔවුන් සිවිල් ජනතාව තුලට කාවැදී ඉන්නවා. ඔවුන් කරන්නේ එයයි.”

ධවල මන්දිරය සමූලඝාතනයට ප්‍රතිචාර දැක්වූයේ මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන් වූ ජනතාව නවාතැන් ගන්නා රෆා වෙත ඊශ්‍රායලයේ සැලසුම් සහගත ප්‍රහාරය සඳහා කෙලින්ම කොල එලියක් දල්වමිනි.

“රෆාහි දිගටම සිටිනා හමාස් සටන්කාමීන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිවක් නොකර සිටින” තත්ත්වය “පිලිගත හැකි විකල්පයක්” නොවන බව මිලර් පැවසීය.

ෂාන්-පියර් තවදුරටත් පැවසුවේ, “රෆාහි ද හමාස් ක්‍රියාකාරීන් සිටින බව අපි දනිමු. නමුත් ඔවුන් හමුදා මෙහෙයුම් ඉදිරියට ගෙන යන්නේ නම්, අප මෙම සංවාදය පැවැත්විය යුතුයි. ඔවුන් ඉදිරියට යන්නේ කෙසේද යන්න අපි තේරුම් ගත යුතුයි. ”

යුරෝ-මෙඩ් ට අනුව, ඊශ්‍රායල හමුදා ෂිෆා රෝහල් සංකීර්නයෙන් “සියලුම වැඩ කරන පුද්ගලයින්-විශේෂයෙන් වෛද්‍ය නිලධාරීන්-අනීතික මරා දැමීම් හෝ බලහත්කාරයෙන් අවතැන් කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් මගින්” ඉවත් කරන ලදී.

දැඩි ලෙස රෝගාතුර වූ රෝගීන් සදහා  ආහාර, ජලය සහ වෛද්‍ය පහසුකම් ප්‍රතික්ෂේප කල කොන්දේසි යටතේ, වටලෑමේදී රෝගීන් 22 දෙනෙකු රෝහල් ඇඳන් මතම මරා දැමුනු බව මානව හිමිකම් සංවිධානය පැවසීය.

ප්‍රහාරයෙන් මියගිය වෛද්‍ය සේවකයන් අතර යුස්රා අල්-මකාද්මේ ( Yusra Al-Maqadmeh) සහ ඇගේ පුත් අහමඩ් අල්-මකාද්මේ (Ahmed Al-Maqadmeh) යන වෛද්‍යවරුන් දෙදෙනාද විය.

මීට පෙර ගාසාවේ සේවය කල වෛද්‍යවරයකු වන අබු සිටා විසින් රචතව පුලුල්ව බෙදාගත් උපහාරයක් පැවසූ  ලෙස, “ලස්සන ආත්මයක් සහ විශිෂ්ට ශල්‍ය වෛද්‍යවරයෙක්. “ආපසු යෑමේ මහා පාගමනේ” (Great March of Return) සහ 2021 යුද්ධයේ සහ පසුව මෙම මෑත යුද්ධයේදී අපි එකට වැඩ කලා. ඔහුගේ කැපවීම මා දැක ඇති කිසිවකට සමකල නොහැකියි. අපි කිසි දින අමතක නොකරමු.”

ඔහු තවදුරටත් පැවසුවේ, “ඔහු මෙම යුද්ධය තුල  ෂිෆා රෝහලේ හා  අල් කුඩ්ස් රෝහල අතර ගත කලා, ඉන් බැහැරව නිදහස් වූ විට අල් අහ්ලි හිදී ඔහු මා සමඟ  එක් වුනා. සෑම විටම කැපවී ගත්, සෑම විටම ඉගෙන ගැනීමට කැමැත්තෙක්. ඔහු උතුරෙන් පිටව යෑම  ප්‍රතික්ෂේප කලා,  ඔහුගේ සැත්කම් වල ඡායාරූප මට එව්වා. ඔහුගේ නික්ම යෑමෙන් බිරිඳක් සහ බිලින්දෙකු තනිවුනා. ”

මෙම මස මුලදී, යුරෝ-මෙඩ් වාර්තා කලේ, ඊශ්‍රායල හමුදා, රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම් සිදු කරන බවයි. මෙම වාර්තා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සම්පූර්නයෙන්ම නොසලකා හරින ලදී. නමුත් දැන් ෂිෆා රෝහලෙන් මතුවන දර්ශන මගින් බයිඩන් පරිපාලනයේ පූර්න සහයෝගය ඇතිව ඊශ්‍රායල හමුදා විසින් රෝහල දැවැන්ත ඝාතන පිටියක් බවට පත් කල බවට එල්ල වන චෝදනා සනාථ කරයි.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *